December 19, 2025

දිට්වා සුළි කුණාටුව හමුවේ රටට සිදුවූ පාඩුව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් බව මේවනවිට වාර්තා වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මන්ත්‍රීවරයා පැවසුවේ ගණනය කිරීම් අනුව එය රුපියල් ට්‍රිලියන 2 ත් 2.5 ත් අතර අගයක් බවයි.

මෙවැනි ස්වභාවික ව්‍යවසනයකදී රටක් වශයෙන් රක්ෂණ වැඩපිළිවෙළක් පැවතුනේ නම් මේ මොහොතේ එය රටට විශාල ශක්තියක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මගින් ආරම්භ කළ ජාතික රක්ෂණ භාර අරමුදල 2018 වසරේ පැවැති පාලනය මගින් නවතා දමා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ නිවැරදි ලෙස පවත්වා ගෙන ගියේ නම් එය රටට විශාල ආයෝජනයක් ද බවයි.