October 21, 2026

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ලබාදුන් පැහැදිලි කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අභියෝග කර ඇත.

එහි පවතින පුළුල් විධිවිධාන සහ ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමටත්, දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමටත් ඉඩකඩ පවතින බවට ඔහු අනතුරු අඟවයි.

අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සාලිය පීරිස් ප්‍රශ්න කර ඇත්තේ, පුද්ගලයකුගේ ටැටූ (පච්ච) හෝ ඇඳුම් පැළඳුම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සමානද යන්න තීරණය කරන්නේ කවුරුන්ද යන්නයි.

“අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ ටැටූ එක හෝ ඇඳුම් අපරාධ කණ්ඩායම් භාවිතා කරන ඒවාට සමානද යන්න තීරණය කරන්නේ කවුද?” යැයි නීතිඥ පීරිස් ප්‍රශ්න කරයි.

ඔහු පවසන්නේ, යෝජිත පනත යටතේ බලතල හිමිවන පොලිස් නිලධාරීන් විසින් මුලින්ම මෙවැනි තීරණ ගනු ලබන බවයි.

මීට පෙර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියාසිටියේ පච්ච තිබීම, කොණ්ඩය වවා තිබීම හෝ යම් ඇඳුම් විලාසිතා භාවිත කිරීම නිසා පමණක් පුද්ගලයන් අත්අඩංගුවට ගතහැකි බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.

එම විධිවිධාන අදාළ වන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ප්‍රකට සාමාජිකයින්ගේ ලක්ෂණ සඳහා පමණක් බවත්, පෞද්ගලික පෙනුම අපරාධයක් ලෙස නොසලකන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

කෙසේවෙතත්, අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම මගින් මෙම යෝජිත නීතියේ පවතින පුළුල් බලපෑම පිළිබඳව අවධානය යොමුකර නොමැති බවට සාලිය පීරිස් තර්ක කරයි.

නීතිඥ පීරිස්ට අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ හෝ පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට රැඳවුම් නියෝග නිකුත් කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සැලසෙන අතර, අධිකරණ අනුමැතියකින් තොරව සැකකරුවන් මාස දෙකක් දක්වාත්, ඉන් පසුව වසරක් දක්වාත් රඳවා තබාගැනීමට හැකි වේ.

එමෙන්ම රැඳවුම් නියෝගයක් නොමැතිව වුවද, යෝජිත නීතිය යටතේ ඉදිරිපත් කරන පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හැර මහේස්ත්‍රාත්වරයාට වෙනත් විකල්පයක් නොමැති බවත්, ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර තිබේද නැද්ද යන්න එහිදී අදාළ නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

“පොලිසිය විසින් යම් ටැටූ එකක් හෝ ඇඳුමක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට අයත් එකක් බව පවසමින් මෙම නීතිය යටතේ පුද්ගලයකු ඉදිරිපත් කළහොත්, මහේස්ත්‍රාත්වරයාට සිදුවන්නේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි,” ඔහු පෙන්වාදෙයි.

සැකකරුවන්ට ඇප ලබාගැනීමට මහාධිකරණය හමුවට යෑමට සිදුවීම සාමාන්‍ය ජනතාවට අමතර දුෂ්කරතා ඇති කරන බවටද නීතිඥ පීරිස් කනස්සල්ල පළකරයි.

පොලිසිය හමුවේ ලබාදෙන පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලසන විධිවිධාන විවේචනය කරන ඔහු, එවැනි පියවරයන් මගින් වධහිංසා පැමිණවීම් සහ අනිසි භාවිතයන් උනන්දු කරවිය හැකි බවට අනතුරු අඟවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් රැසක් වධහිංසා, අමානුෂික සැලකිලි සහ දීර්ඝ කාලීන රඳවා තබාගැනීම්වලට ලක්වූ ආකාරයද නීතිඥ පීරිස් මෙහිදී මතක් කර දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ ICCPR පනත ඇතුළු නීති පෙර පාලනයන් යටතේ අනිසි ලෙස භාවිත වූ බවත්, එමගින් විශාල පීඩාවක් සිදු වූ බවත් ඔහු සිහිපත් කරයි.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද ප්‍රශ්න කරන නීතිඥ සාලිය පීරිස්, තමන් දන්නා තරමින් මෙය අධිකරණ අමාත්‍යාංශය මගින් සකස් කරන ලද්දක් නොවන අතර මහජන මත විමසීමේ ක්‍රියාවලියකටද ලක්කර නොමැති බව පවසයි.

“මෙම නව පනත් කෙටුම්පත අවශ්‍යතාවයක් ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන පිරිස්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි, ICCPR පනත සහ අනෙකුත් නීති පෙර පාලනයන් යටතේ අනිසි ලෙස භාවිතා වූ ආකාරයත්, එමගින් ජනතාවට සිදු වූ අතිමහත් පීඩාව සහ හානියත් මතක් කර ගත යුතුයි,” ඔහු පවසයි.

මෙවැනි නීති අනිසි ලෙස භාවිත කිරීම සහ ඒ හරහා වින්දිතයන්ට සිදු වූ බලපෑම අත්දුටු අයට මෙම නව පනත් කෙටුම්පත මගින් එල්ල වන අනතුර වටහාගත හැකි බවද නීතිඥ සාලිය පීරිස් සඳහන් කරයි.

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය තවමත් නීතියක් බවට පත්ව නොමැත.

මේ අතර අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ ඇඳුම් පැළඳුම්, අභිනයන් (Hand signals) සහ පච්ච සම්බන්ධ විධිවිධාන සිංගප්පූරුවේ සංවිධානාත්මක අපරාධ නීති ආකෘතිය මත පදනම්ව සකස් කර ඇති අතර, එහි අරමුණ සාමාන්‍ය ජනතාවගේ පෙනුම අපරාධයක් ලෙස සැලකීම නොව අපරාධ සංවිධානවල සාමාජිකත්වය හඳුනාගැනීමට උපකාර කිරීම බවයි.