May 16, 2024

ජනමාධ්‍ය ඔස්සේ පළවී තිබූ ආකාරයට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නීති සකස්කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදුවූයේ නැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තුෂාර වීරරත්න නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ රාජ්‍ය නොවන සංවිධාන නීතිය සකස් කිරීම සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හා රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව පස් වතාවක් සාකච්ඡා පවත්වා ඇති බවයි.

ඔවුන්ගේ යෝජනාද සැළකිල්ලට ගෙන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද කෙටුම්පත 2023-01-31 රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව වෙත රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබා දී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

එම කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ට තවදුරටත් යෝජනා හා නිරීක්ෂණ ඇත්නම් එය සති තුනක කාලයක් තුළ ලබා දෙන ලෙස ද දැනුම්දුන් බව තුෂාර වීරරත්න පවසයි.

ඔහු පවසන්නේ ඔවුන් විසින් මෙම කෙටුම්පත විවිධ තානාපති කාර්යාල, මාධ්‍ය ආයතන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම අන්තර්ජාතික සංවිධාන වෙතද ලබාදීමට කටයුතු කර ඇති බවයි.

ඉන්පසු රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව හා විවිධ සංවිධාන මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදී තිබූ බව ද ඔහු අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිරීක්ෂණ සළකා බලා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා යෝජනාවලියක් නැවත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මෙම පනත් කෙටුම්පත සෑදීමේදී මෙන්ම මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සෑදීමේදී ද බලපෑමට ලක්වන පාර්ශ්වයන්ගේ සහ එම නීති පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ හා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.