October 31, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී මුහුණදීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් රයන්එයාර් (Ryanair) ගුවන් සේවය ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ විගමන පරික්ෂාවලදී අවශ්‍ය වීසා ලේඛන ලබාදීම සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේවෙතත්, තම කාර්ය මණ්ඩලය විසින් ජාතිවාදී සහ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට සංගක්කාර කළ බරපතල චෝදනාවලට එම නිවේදනය හරහා ඍජු පිළිතුරක් ලබාදී නොමැත.

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා ඩබ්ලින් සිට බ්‍රිස්ටල් දක්වා ගමන් කිරීමට ගුවන් යානයට ගොඩවීමේදී, රයන්එයාර් සමාගමේ ගේට්ටු කාර්ය මණ්ඩලය තමන්ට සහ තම පවුලේ අයට අසාධාරණ ලෙස සැලකූ බවට සංගක්කාර චෝදනා කළේය.

The Irish Times ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, රයන්එයාර් සමාගම සඳහන් කර ඇත්තේ අනිවාර්ය විගමන පරීක්ෂාවන් සිදු කරන අතරතුර අදාළ නිලධාරියා වීසා ලේඛන ඉල්ලා සිටි අවස්ථාවේදී සංගක්කාර ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේවෙතත්, පසුව එම පරීක්ෂාවන් සම්පූර්ණ කර ගමන් කිරීමේ හැකියාව තහවුරු කරගැනීමෙන් අනතුරුව, ඔහුට නියමිත ගුවන් යානයෙන්ම ගමන් කිරීමට ඉඩ ලබා දුන් බවද එම සමාගම පවසයි.

නමුත්, සංගක්කාරගේ පවුලේ අයට රයන්එයාර් කාර්ය මණ්ඩලය භාවිත කළ භාෂාව, ඔවුන්ගේ තර්ජනාත්මක හැසිරීම සහ එය ජාතිවාදී වෙනස්කොට සැලකීමක් බවට කළ චෝදනා සම්බන්ධයෙන් එම නිවේදනයේ කිසිදු සඳහන් කිරීමක් සිදුකර නොමැත.

තම සමාජ මාධ්‍ය සටහන තබමින් සංගක්කාර සඳහන් කර තිබුණේ මෙම සිදුවීම ඉතා කම්පන සහගත මෙන්ම කිසිසේත්ම අනුමත කළ නොහැකි එකක් බවයි. ගුවන් සමාගම් කාර්ය මණ්ඩලය තම පවුලේ අයට කතා කළ ආකාරය, කටයුතු කළ ආකාරය සහ තර්ජනය කළ ආකාරය පිළිබඳව ඔහු එහිදී දැඩි ලෙස විවේචනය කළේය.

එම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් සංගක්කාර පවසා තිබුණේ, “ඔහුගේ ආකාරයේ විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් මෙවැනි සැලකිලි බලාපොරොත්තු විය යුතු” බවට ගුවන් සේවා නිලධාරීන් ප්‍රකාශ කළ බවයි. එම ප්‍රකාශයට තමන් විරෝධය පළ කළ අවස්ථාවේදී, කාර්ය මණ්ඩලය සමග තර්ක කිරීම මත අනෙකුත් මගීන්ට තර්ජනයක් ලෙස සලකා ගුවන් ගමන තහනම් කිරීමට පවා පියවර ගන්නා බවට තමන්ට තර්ජනය කළ බවද සංගක්කාර වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.