October 31, 2026

2009 වසරේදී ගිලීගිය නෞකාවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 700,000 ක රක්ෂණ වන්දියක් අයකර ගැනීම සඳහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් PLC සමාගම විසින් අමානා ටකාෆුල් PLC සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇත.

විනිසුරු මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් කේ.බී. විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් වාණිජ මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුව මෙලෙස තහවුරු කර තිබේ.

2009 මැයි 31 වන දින මාලදිවයින් කොඩිය යටතේ සේවයේ යෙදී සිටි ‘M.V. Medhufaru’ නමැති නෞකාව ගිලීයෑමෙන් මෙම නීතිමය ආරවුල හටගෙන ඇත.

ඉන්දියාවේ සිට මාලදිවයින බලා යාත්‍රා කරමින් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් නෞකාව ගිලීගිය බව පවසමින් පීපල්ස් ලීසිං සමාගම රක්ෂණ වන්දිය ඉල්ලා සිටියද, නෞකාව යාත්‍රා කිරීමට සුදුසු තත්ත්වයේ නොතිබූ බවත්, අවශ්‍ය වර්ගීකරණ සහතිකය (Classification certification) පවත්වාගෙන ගොස් නොමැති බවත් පවසමින් අමානා ටකාෆුල් සමාගම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

නෞකාව වසර 33 ක් පැරණි එකක් වූ අතර, එය ගිලීය මට පෙර එහි බඳ කොටස් දිරාපත්වීම, සිදුරු හටගැනීම සහ ජලය කාන්දුවීම් සිදුව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේය.

නෞකාවේ භෞතික තත්ත්වය ගිලීයෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති විට, අයහපත් කාලගුණය පමණක් වගකීමට හේතුවක් කරගත නොහැකි බව අධිකරණය පෙන්වාදී තිබේ.

එසේම, නෞකාවේ IRS වර්ගීකරණ සහතිකය 2008 සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වී ඇති අතර එය අලුත් කර නැත. රක්ෂණ ඔප්පුවේ කොන්දේසි කඩකිරීම මගින් වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ස්වාධීන පදනමක් ලැබෙන බව විනිසුරු මඬුල්ල තීන්දු කර තිබේ.

තවද, ඉස්ලාමීය ‘ටකාෆුල්’ (Takaful) රක්ෂණ ක්‍රමවේදයේ ප්‍රතිපත්ති මත පිහිටා ගිවිසුම්ගත කොන්දේසි මඟහැරීමට පීපල්ස් ලීසිං සමාගමට නොහැකි බවත්, දෙපාර්ශ්වය එකඟ වූ ගිවිසුම්ගත වගකීම් යටපත් කිරීමට ටකාෆුල් ප්‍රතිපත්තිවලට නොහැකි බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සෝභිත රාජකරුණා විනිසුරුවරයා සඳහන් කර ඇත.

ඒ අනුව, වාණිජ මහාධිකරණයේ 2018 ඔක්තෝබර් තීන්දුව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අභියාචනය නිශ්ප්‍රභ කර තිබේ.