December 13, 2023

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම වාර්තාකරණයට හිමි මහාචාර්ය කායිලාසපති කුසලතා සම්මානය මෙවර හිමිව ඇත්තේ ‘අරුණ’ පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කළ හේමන්ත ලියනපතිරණට ය.

විශේෂත්වය වන්නේ හේමන්ත මේවන විට කුරුවිට බන්ධනාගාරයේ රඳවා තිබීමයි.

එමනිසා අදාළ සම්මානය ලබාගැනීමට කිසිවකු ඉදිරිපත්ව නොමැති අතර, සම්මාන උළෙල සංවිධානය කළ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය පවා හේමන්ත බන්ධනාගාරගතව සිටින බව දැනසිට නැත.

ඔහුගේ බිරිඳ පවා හේමන්තට මෙවැනි සම්මානයක් හිමිව ඇති බවට දැනුවත්ව සිට නැත.

‘අරුණ’ පුවත්පතේ ඔහු සමග සේවය කළ එකදු ජනමාධ්‍යවේදියකු හෝ හේමන්ත වෙනුවෙන් මෙම සම්මානය ලබාගැනීමට ඉදිරිපත් නොවීමද සම්මාන උළෙලේ සිදුවූ තවත් විශේෂත්වයකි.

මේ අතර මන්නා රමේෂ් නමැති පාතාල සාමාජිකයා සමග සම්බන්ධතා පැවැත්වූ බව අත්අඩංගුවට ගත් හේමන්ත සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මාස දෙකහමාරක් වැනි දීර්ඝ කාලයකට පසුවත් අවසන් නැති බව පොලිසිය නැවතත් අධිකරණයට දැනුම්දී ඇත.

ඒ ඊයේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට එරෙහිව පොලිසිය මේ වන තුරු අධිකරණයට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නැත.

විශේෂ කාර්ය බලකාය විසින් හේමන්තව බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවටත්, ඔහුට දැඩි ලෙස පහරදී ඇති බවටත්, නීතිඥවරයකුගේ සහායක් ලබාගැනීමට අවස්ථාව ලබානොදී අවිස්සාවේල්ල පොලිසිය ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවටත් චෝදනා කරමින් ඔහුගේ ඥාතීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී හේමන්ත ‘හිරු වෙබ් අඩවියේ’ සේවය කරමින් සිටියේය.