October 23, 2026

විහාරමහදේවි උද්‍යානය අසල උපවාසයේ රැදීසිටින භික්ෂූන්වහන්සේලා කිහිපනමක් විසින්, පසුගියදා පිහි දෙකක් සමඟ අල්ලා ගත් පුද්ගලයා පැලවත්ත ජවිපෙ කාර්යාලයට සම්බන්ධ බවට බලංගොඩ කස්සප භික්ෂුව විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (23) දින කරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

CIB II 289/237 යන අංකය යටතේ කුරුඳුවත්ත පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ කස්සප භික්ෂුව විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසය.

එම ප්‍රකාශය අසත්‍ය ප්‍රචාරය මගින් මහජන කැළඹීම් ඇති කිරීමට උත්සාහ දරා ඇති බව පෙනීයන බව ජවිපෙ කියයි.

විශේෂයෙන් පැලවත්ත කාර්යාලය ජනාධිපතිවරයා යන එන කාර්යාලයක් වන අතර එම ස්ථානයේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම සහ අදාළ පුද්ගලයා කිසිදු ආකාරයකින් පැලවත්ත ජවිපෙ කාර්යාලයට සම්බන්ධයක් නොමැති වීම යන කාරණා විමර්ශනයට භාජනය කොට සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස මෙම පැමිණිල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි.

මෙයට අදාළ විඩියෝ පට සහ Facebook සටහන්ද පොලිසිය වෙත බාරදී තිබේ.