October 23, 2026

තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අදාළ සමාගම් මේ මස 28 වැනි දින වෙළෙඳ අමාත්‍යංශයට කැඳවීමට තීරණය කර තිබේ.

පාරිභෝගික පනතේ 18 වැනි වගන්තිය අනුව නිශ්චිත භාණ්ඩයක මිල වැඩිකිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ යුතු වුවත් ඔවුන් එවැනි දැනුවත්කිරීමක් නොකර සිදුකළ මෙම මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදීම කරුණු විමසා ලිපියක් යොමු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.

මෙම අනීතික මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තිරිඟු පිටි ආනයන සමාගම් කැඳවා කරුණු විමසීමට මේ වන විට එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ලබන 28 වැනි දින ඔවුන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ද සමඟ අමාත්‍යංශයට කැඳවීමට කටයුතු කෙරේ.

එතෙක් තිරිඟු පිටි ආශ්‍රිත කෙටි කෑම මිල ගණන් ඉහළ නොදමන ලෙස බේකරි නිෂ්පාදන සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධනගෙන් ඉල්ලීමක් ද කර ඇත.

පූර්ව දැනුවත් කිරීමකින් තොරව සිදුකළ මෙම අනීතික මිල වැඩිකිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ඊයේ දිනයේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් විමසීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.