October 23, 2026

මින්නේරිය ප්‍රදේශයේ ගම්මානයක නිවාස 20කට ආසන්න සංඛ්‍යාවකට හදිසියේ හැලපයින් (හැකරැල්ලන්) රංචු පිටින් කඩා වැදීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

විපතට පත් ගම්වාසීන් පවසන්නේ, මෙම සතුන් නිවෙස්වල ආලින්ද, දොරටු, මුළුතැන්ගෙවල් ආදී ස්ථානවලට මෙන්ම පිසූ ආහාරවලට පවා ඇතුළු වීම නිසා තමන්ගේ එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවයි.

කෘමිනාශක ඉසීමෙන් මෙම උවදුර පාලනය කර ගැනීමට උත්සහ කළ ද කෙටි වේලාවකින් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවකින් නැවත ගම්මානයට පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.

කෘමිනාශක ලබාගැනීම සඳහා දිනකට රුපියල් 3,000ක පමණ මුදලක් වැය කිරීමට සිදු වුවද, එමගින් ද ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව වාර්තා වේ.

එබැවින්, මෙම සතුන්ගේ බලපෑම තවදුරටත් ව්‍යාප්ත වීමට පෙර ඊට කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.