June 27, 2026

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ ප්‍රධාන වීදියක් තමන්ගේ නමින් නම්කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට සිය කෘතඥතාව පළකර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේම සමාජ මාධ්‍ය ජාලය වන ‘TruthSocial’ හි සටහනක් තබමිනි.

“ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි නව ‘ඩොනල්ඩ් ට්‍රම්ප් මාවත’ (Donald Trump Avenue) — මේ ආකාරයෙන් ගෞරවයට පාත්‍ර වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා මමයි. ඔබට ස්තුතියි,” යනුවෙන් පවසමින් ජනාධිපතිවරයා එහි සමාරම්භක උත්සවයේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

ඉන්දියාවේ ඇමරිකානු තානාපති සේරියෝ ගෝර් සහ තෙලන්ගානා ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති මල්ලු භට්ටි වික්‍රමාර්ක යන අය විසින් හයිද්‍රාබාද්හි නානක්රාම්ගුඩා ප්‍රදේශයේ පිහිටි මෙම පුවරුව නිරාවරණය කර දින දෙකකට පසුව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් වී ඇත.

ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ප්‍රසිද්ධ ආයතනික සන්නාමයන්ගේ නමින් වීදි නම්කිරීමේ මෙම සුවිශේෂී සැලසුම තෙලන්ගානා මහ ඇමති ඒ. රේවත් රෙඩ්ඩි විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 2025 වසරේදීය.

“අපි හයිද්‍රාබාද්හි වැදගත් මාර්ග, ප්‍රමුඛ පෙළේ සමාගම්වල නමින් නම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ බොහෝ මාර්ග නම් කර තිබෙන්නේ දේශපාලන නායකයන්ගේ නම්වලින්. අපි හයිද්‍රාබාද් නගරයෙන් ඒ ක්‍රමය වෙනස් කර ‘ගූගල්’, ‘මෙටා’, ‘ටී.සී.එස්.’ හෝ ‘ඉන්ෆොසිස්’ වැනි නම්වලින් වීදි නම් කරමු,” යනුවෙන් රෙඩ්ඩි 2025 නොවැම්බර් මාසයේ පැවැති ‘ඇමරිකා-ඉන්දු උපායමාර්ගික හවුල්කාරිත්ව සංසදය’ අමතමින් ප්‍රකාශ කර තිබිණි. මෙම ‘ඩොනල්ඩ් ට්‍රම්ප් මාවත’ නම් කිරීමේ සැලසුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 2025 දෙසැම්බර් මාසයේදී අලුතින් සැලසුම් කරන ලද ‘ෆියුචර් සිටි’ හි පැවැති දෙදින ‘තෙලන්ගානා රයිසින් ගෝලීය සමුළුවට’ සමගාමීවය.

හයිද්‍රාබාද් නගරයේ බටහිර කොටසේ පිහිටා ඇති මෙම සුවිශේෂී වීදිය තුළ ඇමරිකානු තානාපති කාර්යාල නිල නිවාස පිහිටා ඇති අතර, එය ඇමරිකානු තොරතුරු තාක්ෂණ (IT) සහ අනෙකුත් තාක්ෂණික සමාගම් රැසකට ඉතා සමීපව පිහිටා තිබීම ද විශේෂත්වයකි.