November 12, 2026

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් හා නිලධාරීන් වෙනුවෙන් ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීමට රජය යෝජනා කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද අයවැය කතාවට අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ දීමනා ඉහළ දැමෙන්නේ මෙසේය.

– පෞද්ගලික වෘත්තියේ නොයෙදීමේ දීමනාව (Non-practising allowance): නීතිපති, සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ යන තනතුරු සඳහා මාසික පෞද්ගලික වෘත්තියේ නොයෙදීමේ දීමනාව රුපියල් 25,000කින් ද, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සහ රජයේ නීතිඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා රුපියල් 20,000කින් ද ඉහළ නැංවේ. මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි සියයට 50 2028 වර්ෂයේදී ද ගෙවීමට පියවර ගැනේ.

– ප්‍රවාහන, රියදුරු සහ නිවාස දීමනා: 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි, නිල වාහන සඳහා හිමිකම් ඇති නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩි කිරීමටත්, සුදුසුකම් ලත් නිලධාරීන්ට ගෙවන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමටත්, දැනට ගෙවනු ලබන නිවාස දීමනාව සියයට 100කින් වැඩි කිරීමටත් යෝජනා කර ඇත.

# අධිකරණ ක්ෂේත්‍රයේ දීමනා (මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්) ඉහළ දැමෙන්නේ මෙසේය;

– වෘත්තීය දීමනාව (Professional allowance): මහාධිකරණ විනිසුරුවරුන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන් වෙත දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රුපියල් 25,000කින් වැඩිකෙරේ. මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි සියයට 50 2028 වර්ෂයේදී ද ගෙවීමට කටයුතු කෙරේ.

– ප්‍රවාහන, රියදුරු සහ නිවාස දීමනා: 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි, නිල වාහන සඳහා හිමිකම් ඇති නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් ඉහළ නැංවීමටත්, සුදුසුකම් ලත් නිලධාරීන්ට ගෙවන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.

ඊට අමතරව, රජයට අයත් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් සපයා නොමැති අවස්ථාවලදී සිය නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවරුන් සහ අනෙකුත් විනිසුරුවරුන් වෙත දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව සියයට 100කින් ඉහළ නැංවීමට ද යෝජනා වී ඇත.