January 20, 2024

කුඩා පරිමාණයේ ගොවිපළවල් 14,000ක් පමණ වසා දැමීම සහ කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් ඊයේ අනාවරණ කරන ලදී.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මෙම තත්ත්වයට හේතුව සතුන් සොරකම් කිරීම බවට ප්‍රකාශ කළද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුඒ සම්බන්ධයෙන් සැක පළ කළහ.

ඔවුන් තර්ක කළේ තණබිම් විනාශ කිරීම සහ ඉඩම් සම්බන්ධ ගැටලු වැනි වෙනත් සාධක ඊට වඩාත් හේතුවිය හැකි බවයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කර්මාන්තය පිළිබඳ නිවැරදි සහ පැහැදිලි දත්ත පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

ඔවුන් පෙන්වාදුන්නේ මෙම දත්ත අර්බුදයේ මූල හේතු අවබෝධ කර ගැනීමට සහ ඵලදායී ප්‍රතිපත්ති සැකසීම සඳහා ඉතා වැදගත් වන බවයි.

රටේ විශාලතම කිරි නිෂ්පාදන සමාගම වන මිල්කෝ වෙත ලැබුණු කිරි නිෂ්පාදනයේ පහත වැටීමක් ඇති බව මෙම රැස්වීමට සහභාගී වූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ළිගත්තේය.

කර්මාන්තය මුහුණ දෙන අභියෝග සඳහා කෘත්‍රිම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ කිරි නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

අභිජනනය සඳහා ආනයනය කරන ලද ඕස්ට්‍රේලියානු එළුවන් 104 දෙනෙකු මිය යෑම සත්ව ආරක්ෂණ ක්‍රම පිළිබඳ කණස්සල්ලට හේතු වී තිබේ.

අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ආනයනික පශු සම්පත් නිසි ලෙස රැකබලා ගැනීම සහ කළමනාකරණය කිරීම සහතික කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පශු සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.