January 20, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කිරීමත් සමග තවදුරටත් දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ‘ඒ’ ශ්‍රේණියේ ගෙවන පන්තියේ කාමරයක් තුළ තබනවාද නැද්ද යන්න පිළිබඳව බන්ධනාගාර පරිපාලනය ප්‍රශ්නයකට මැදිවී ඇතැයි වාර්තාවේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය පරිදි දුමින්ද සිල්වා බන්ධනාගාරය වෙත නිදහස් කරන්නැයි ඉල්ලා බන්ධනාගාර පරිපාලනය විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියකින් දැනුම්දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක ‘අනිද්දා පුවත්පත’ වෙත ප්‍රකාශ කර ඇත.

එම වාර්තාවට අනුව, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මීට ප්‍රථම ද කිහිපවතාවක් මෙම ඉල්ලීම එම රෝහල වෙත යොමුකළ බවය. එහෙත් දුමින්ද සිල්වා බන්ධනාගාරය වෙත නිදහස් කරනවා ද නැද්ද යන්න එම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයාගේ මතය අනුව තීරණය වෙන දෙයක් බවත්, එම තීරණය ලැබෙන තෙක් දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ එම රෝහලේ රැඳී සිටිනු ඇති බවත් ය.

අප මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් පරිපාලනයේ ඉහළ නිළධාරියෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, රෝහල් පරිපාලනය විසින් බන්ධනාගාර ඉල්ලීම මත ක්‍රියාත්මක වෙන්න යැයි රෝහලේ තුන්වෙනි වාට්ටුව භාරව සිටින විශේඥ වෛද්‍ය චින්තක ද සිල්වා වෙත දැනුම් දෙමින් එම තීරණය පිළිබඳව බන්ධනාගාරය ද දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව, බොහෝ විට දුමින්ද සිල්වා මෙම පුවත ලියන ජනවාරි 18දා හෝ ඊට පසු දා වන විට බන්ධනාගාරය වෙත රැගෙන යනු ඇති බව එම උසස් නිලධාරියා විශ්වාසය පළ කර තිබේ.

දුමින්ද සිල්වා රැඳී සිටින තුන්වෙනි වාට්ටුවේ කාමරය අවට කාමර ඔහු වෙනුවෙන් වෙන් කර ඇතැයි ද එහි ශාරීරික ව්‍යායාම සඳහා කුටියක් වෙනම ඇතැයි ද පැතිර යන ආරංචිය පිළිබඳව එම රෝහල් බලධාරියාගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එවැන්නක් නැති බවය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එම ඉහළ නිලධාරියා එසේ ප්‍රකාශ කළ ද, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ඝාතනය කළ සිදුවීමේදී වෙඩිවැදී තුවාල සිදු වූවා යැයි කියූ දුමින්ද සිල්වා එම රෝහලට රැගෙන ඒමෙන් පසු ඔහු සිටි කාමරය ඇති ප්‍රදේශයට රෝහල් සේවකයකුට පවා ඇතුළුවීමට ඉඩ ලබානොදුන් අතර, විශේෂ වෛද්‍ය හා සහාය කාර්ය මණ්ඩලයක් ඒ සඳහා යොදවා තිබිණි.

එමෙන්ම එම රෝහලේ සේවය කළ කොළොන්නාව මැතිවරණ බල ප්‍රදේශයට අයත් සේවකයන් නිවාඩු ලබාදී නිවෙස්වලට යැවීමද සිදුකෙරිණි.

දුමින්ද සිල්වා සිටි කාමරය අයත් මහළ තනිකරම ඔහුගේ ගෝල සාමාජිකයන්ගේ ආරක්ෂාව ඇතිව පැවති අතර ඔවුන් එහි නැවතී සිටියේය. එම සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා එම ප්‍රදේශයේ තේ සාදන මැෂින් පවා සවිකර තිබිණි. එම අවස්ථාවේදී දුමින්ද සිල්වාගේ වෛද්‍යවරිය ලෙස කටයුතු කළේ, විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ඝාතන සිදුවීමේදී වෙඩි වැදුණේ යැයි කියූ දුමින්ද සිල්වාගේ හිස සම්බන්ධයෙන් වූ ශල්‍යකර්මය සිදුකළේද විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න වන අතර, ඇයගේ නිර්දේශය වී තිබුණේ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර කළයුතු මට්ටමේ සිටින බවයි. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් එම වෛද්‍යවරිය සිදුකළ ශල්‍යකර්මයට අදාළ තොරතුරු අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි වුවද, දුමින්ද සිල්වාගේ හිස සම්බන්ධයෙන් කළා යැයි කියන එම සැත්කමින් පසු හිසෙන් ඉවත් කරන ලද කොටස් රෝහල තුළ සුරක්ෂිතව තැබිය යුතු වුවද, ඔහුගේ හිසේ සැත්කමින් ඉවත් කරන ලද කොටස් එම රෝහල සතුව නැති බව වාර්තාවේ.

මහාධිකරණය විසින් මරණ දඬුවම් ලබාදීමෙන් පසු ටික දිනක් පමණක් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිටියද, ඔහු දඬුවම් කිරීමෙන් පසු වැඩි කාලයක් ගත කළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේය.

එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමෙන් පසු ඔහුට කිසිදු රෝගාබාබාධයක් ඇති නොවූ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. නැවතත් ඔහුට රෝගාබාධ ඇති වූයේ ඔහුට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට තීන්දු කරමින් ඔහු බන්ධනාගාරයේ භාරයට ගන්නා ලෙස කළ නියෝගයෙන් පසු වන අතර, ඉන්පසුද ඔහු බන්ධනාගාර රෝහල වෙනුවට ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී විශේෂඥ වෛද්‍ය නිර්දේශය යටතේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක්ම සිටියේය. මේ වන විට එක දිගට ඔහු රෝහලේ ගත කර ඇති කාලය අවුරුදු එකහමාරකට ආසන්නය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ඝාතන සිදුවීමේදී වෙඩිවැදුණැයි කී ඔහු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී විනාඩි කිහිපයක් තුළ ඔහුව බලන්නට ආ පුද්ගලයා එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂවන අතර, ඒ වන විට දුමින්ද සිල්වා කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙනි. ඒ වන විටත් පාතාල සම්බන්ධකම් ගැන ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහුව එම අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත්කළ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගෙන් කිසිදු විරුද්ධත්වයක් ප්‍රකාශ වුයේ නැත. එමෙන්ම ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් අහිමි අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ, එම ඝාතන සිදුවීමට පෙර ඒ වන විට ප්‍රකාශයට පත් කර තිබූ පළාත් පාලන ඡන්දයේදී කොළොන්නාව නගර සභා නගරාධිපති අපේක්ෂකයා වෙනුවෙන් දුමින්ද සිල්වාගේ ආරාධනය පරිදි වේදිකාවට ගොඩවිය.(අනිද්දා)