August 7, 2026

යෝජිත සත්ව සුභසාධන පනත් කෙටුම්පත හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර ඇතුළු සංස්කෘතික පෙරහැර මංගල්‍යයන් සඳහා බාධා මතුවීමේ අවදානමක් පවතින බවත්, ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරවීම අවදානම් සහගත ක්‍රියාවක් බවත් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සිද්ධාර්ථ හිමියෝ පවසති.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු සමඟ පැවැති හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ, අදාළ යෝජිත පනත සම්මත වුවහොත් මහනුවර ඇසළ පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී කරවීමට බාධා සිදුවිය හැකි බවට වන කතාබහ සමාජය තුළ දැඩි ලෙස මතුවෙමින් පවතින බවයි.

යෝජිත පනත මඟින් පෙරහැර පැවැත්වීමට එවැනි බාධාවක් සිදුනොවන්නේ නම්, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කර පවතින සැකසංකා දුරුකිරීම අදාළ අමාත්‍යවරුන්ගේ වගකීමක් බව මහනායක හිමියෝ අවධාරණය කළහ.

විශේෂයෙන්ම පෙරහැරේ ගමන් කරන අලින්ට සංකේත ලෙස හෝ විලංගු දැමීම නොකළ යුතු බවට වන මතයන් පිළිබඳ රජය නිහඬව නොසිට කරුණු පැහැදිලි කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම හමුවට එක්වූ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සඳහන් කළේ, විපක්ෂයේ ඇතැම් පිරිස් මහජනතාව නොමග යැවීම සඳහා මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරා හරින බවයි.

මධ්‍යම පළාතේ අවශ්‍යතාවන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති අයකු ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් මහනායක හිමියෝ රජයට ප්‍රශංසාව පළ කළහ.

ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මල්වතු මෙන්ම අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ද බැහැදැක පළාතේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇත.