
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
MV X-Press Pearl නෞකාවේ අනතුර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමට අසමත්වීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපති පාරින්ද රණසිංහ වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ වෙනුවෙන් නීතිඥ නිල්මාල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 07 වන දින ලියාපදිංචි තැපෑලෙන් මෙම ලිපිය යොමුකර ඇත. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මාස 15 කට පෙර ලබාදුන් නියෝගයන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර නොමැති බව එම ලිපියේ සඳහන් වේ.
2025 ජූලි 24 වන දින අංක SC/FR/168/2021 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සහ ඊට අදාළ අනෙකුත් පෙත්සම් සඳහා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත. අදාළ තීන්දුවේ 895 සහ 896 ඡේදයන්ට අනුව, සාගර පරිසර ආරක්ෂණ පනතේ 26(a) වගන්තිය යටතේ නෞකාවේ හිමිකරුවන්ට සහ මෙහෙයුම්කරුවන්ට එරෙහිව අපරාධ වගකීම් යටතේ නඩුවිභාග කිරීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමට නීතිපතිවරයා අපොහොසත් වී ඇති බව අධිකරණය තීන්දු කළේය. එමෙන්ම ශ්‍රී ලංකා මහාධිකරණය හමුවේ සිවිල් නඩු පැවරීම වෙනුවට සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට ගත් තීරණය සාධාරණ නොවන, තර්කානුකූල නොවන සහ අත්තනෝමතික තීරණයක් බව ද, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.
නීතිඥවරයා යොමුකළ ලිපියට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 897 ඡේදයේ සඳහන් පහත නියෝග නීතිපතිවරයා විසින් ඉටුකර නොමැත:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දීම: දණ්ඩ නීති සංග්‍රහය සහ පාරිසරික නීති යටතේ හෙළිදරව් වී ඇති සියලුම වරදවල් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මාස තුනක් ඇතුළත ඒවා අවසන් කර අධිචෝදනා පත්‍ර ගොනුකිරීමට කටයුතු කිරීම.
තොරතුරු නැවත සමාලෝචනය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මගින් රැස්කරන ලද තොරතුරු නැවත සමාලෝචනය කර, සෑම මාස තුනකට වරක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
දේශීය හා ජාත්‍යන්තර නීති සංසන්දනය: ජාත්‍යන්තර සාගරික නීති සහ දේශීය ප්රමිතීන් අතර පවතින පරතරයන් පිළිබඳව අධ්‍යයනයක් කර නීතිමය සංශෝධන සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම.
පනත් සංශෝධනය: සාගර පරිසර ආරක්ෂණ පනත සහ වෙරළ සංරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ අධිකාරිය සමග එක්ව අධ්‍යයනයක් සිදුකිරීම.
වගකිවයුත්තන් මෙරට රඳවා ගැනීම: ‘Sea Consortium Lanka’ පෞද්ගලික සමාගමේ නියෝජිතයින් ඇතුළුව වන්දි ගෙවීමට හෝ නඩු පැවරීමට වගකිවයුතු සියලු දෙනා ශ්‍රී ලංකාව තුළ රඳවා තබාගැනීම තහවුරු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීම.
මීට අමතරව, පෙත්සම්කරුවන්ට සිදුවූ නඩත්තු පිරිවැය (නඩු ගාස්තු) නීතිපතිවරයාගෙන් අයකර ගැනීමට අවසර දී තිබූ අතර, නීතිපතිවරයාට එම මුදල ‘එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිෂන් සභාවෙන්’ අයකර ගැනීමට අවස්ථාව සලසා තිබුණි. ඒ අනුව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ජනවාරි 16 වන දින අදාළ ගාස්තු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළද, ඊට ප්‍රතිචාර දැක්වීමක් හෝ මුදල් ගෙවීමක් සිදුකර නොමැති බව එම ලිපියේ දැක්වේ.
ලිපිය ලැබී දින 14 ක් ඇතුළත අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිඛිත පිළිතුරක් ලබාදෙන ලෙසත්, නඩු ගාස්තු වහාම පියවන ලෙසත් පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටියි. නියමිත කාලය ඇතුළත නීතිපතිවරයා ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත්, පූර්ව දැනුම්දීමකින් තොරව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද එන්තරවාසිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart