May 14, 2026

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා වලංගු ප්‍රවේශපත්‍ර සහිතව ඇමරිකාව බලා ගමන් කරන්නේ නම්, ඩොලර් 15,000 ක වීසා ඇප තැන්පතු අවශ්‍යතාවයට යටත් වන රටවල් 50 ක පාපන්දු ලෝලීන් එම අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත.

මෙම රටවල් අතුරින් ඇල්ජීරියාව, කබෝ වර්ඩ්, අයිවරි කෝස්ට්, සෙනගල් සහ ටියුනීසියාව යන රටවල් පහ ජූනි 11 වැනිදා සිට ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

“ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර මිලදී ගත්, සුදුසුකම් ලත් ප්‍රේක්ෂකයින් සඳහා අපි වීසා ඇපකර අවශ්‍යතාවය ඉවත් කරනවා,” යනුවෙන් කොන්සියුලර් කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් මෝරා නම්දාර් BBC පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයකට අනුව, පසුගිය වසරේ හඳුන්වා දුන් මෙම ඇපකර අවශ්‍යතාවයේ අරමුණ වූයේ වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම අවම කිරීමයි.

තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මේ වන විටත් මෙම ඇපකර අවශ්‍යතාවයෙන් නිදහස් කර තිබුණද, ලෝක කුසලානය සඳහා තහවුරු කරන ලද ප්‍රවේශපත්‍ර සහිත සාමාන්‍ය ප්‍රේක්ෂකයින් බදාදා දිනය වන තෙක් ඊට ඇතුළත් කර නොතිබිණි.

පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම මාස 12 ක නියමු වැඩසටහන, පරිපාලනයේ පුළුල් ආගමන විගමන මර්දන ක්‍රියාවලියේ කොටසක් විය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, එහි අරමුණ වූයේ වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හෝ පරීක්ෂා කිරීමේ සහ පූර්ව විමර්ශන තොරතුරු ප්‍රමාණවත් නොවන බව සලකන අවස්ථා පාලනය කිරීමයි.

මෙම ඇප තැන්පතු මුදල අමුත්තාගේ රැඳී සිටීමේ කාලය අවසානයේදී නැවත ගෙවීමට නියමිතව තිබිණි.

FIFA සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ප්‍රකාශය මඟින් “සාර්ථක, වාර්තාගත සහ අමතක නොවන ගෝලීය ඉසව්වක් පැවැත්වීම සඳහා” ධවල මන්දිරය සමඟ පවතින අඛණ්ඩ සහයෝගීතාවය පෙන්නුම් කරන බවයි.

“මෙම අඛණ්ඩ හවුල්කාරිත්වය වෙනුවෙන් අපි පරිපාලනයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ද එහි සඳහන් විය.