August 6, 2026

තම සරසවි සගයන්ට හෂීස් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් අලෙවි කිරීමේ වරදට වරදකරු වූ විශ්වවිද්‍යාල සිසුවකුට රුපියල් 410,000ක දඩයක් නියම කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතාරසිංහ ඊයේ පියවර ගත්තේය.

මෙලෙස දඩ නියම වූයේ බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවකුටය.

හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 254ක් සහ දුම්කොළ බදු ආඥාපනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද විදේශීය සිගරට් 500ක් ළඟ තබාගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කළ මාර්ෂල්වරයාට මෙම හෂීස් සහ විදේශීය සිගරට් තොගය හමු වී ඇති අතර, ඔහුගේ පැමිණිල්ල මත සිදුකළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගිය අදාළ සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.

කුලියාපිටිය පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායකගේ උපදෙස් මත සැරයන් ඒකනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.