June 28, 2026

ලංකා පොහොර සමාගමට අයත් මුදල් අවභාවිත කර රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදු කළ බව කියමින් චෝදනා ලැබ සිටින හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේදී කැඳවූ අතර එහිදී චෝදනා පත්‍රය කියවා දෙන ලැබුවේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ අසිත ඇන්තනි සාක්ෂි මෙහෙයවමින් පොහොර සංස්ථාවේ හිටපු සේවිකාවක වන දර්ශනී පෙරේරා පළමු සාක්ෂිකාරිය ලෙස සාක්ෂි දීම සඳහා කැඳවා තිබිණි.

ජාතික සේවක සංගමයේ හිටපු වෘත්තීය සමිති නිලධාරිනියක වන දර්ශනී පෙරේරා නමැත්තිය අධිකරණය හමුවේ කියා සිටියේ වසර 11කට පෙර තමන් විසින් යවන ලද විද්‍යුත් තැපෑලක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

එවකට ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වූ එඩ්වඩ්ගේ ඉල්ලීම පරිදි තමන් එම විද්‍යුත් තැපෑල යැවූ බව ඇය අධිකරණයට පැවසුවාය.

එඩ්වඩ් නමැති අය තමන්ට විද්‍යුත් තැපෑලක් යැවීමට නොහැකි බව පවසා ඒ සඳහා තමන්ගේ සහය ඉල්ලා සිටි බවත්, එම පැමිණිල්ලේ අඩංගු කරුණු සත්‍ය ද නැද්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් දර්ශනී පෙරේරා සාක්ෂිකාරිය සඳහන් කළාය.

ඇයගේ ප්‍රකාශයෙන් අනතුරුව විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදුකර නොතිබිණි.

මෙම නඩු විභාගය යලිත් ජුලි මස 15 වෙනිදා කොළඹ මහාධිකරණය හමුවේ යලි කැඳවීමට නියමිතයි.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සමඟ නීතිඥ අකලංක උක්වත්ත පෙනී සිටියහ.