October 15, 2026

ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් 2027 FIA Formula 3 ලෝක ශූරතාවලිය වෙනුවෙන් Van Amersfoort Racing – VAR කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ අනුව අඛණ්ඩව දෙවන වසරටත් මෙම තරගාවලිය සඳහා සිය ස්ථානය තහවුරු කර ගැනීමට ඔහු සමත්ව ඇත.

19 හැවිරිදි වියෙහි පසුවන යෙවාන්, 2026 වසරේ පැවැති සිය මංගල තරග වාරයේදී ප්‍රසාද ලකුණු 35 ක් ලබා ගනිමින් රියදුරන්ගේ ශූරතාවලියේ 18 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය. එම සාර්ථක ආරම්භයෙන් පසුව ඔහු මෙලෙස නෙදර්ලන්ත මෝටර් රථ ධාවන කණ්ඩායම හා එක්වෙයි. බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් හි පැවැති ‘ස්ප්‍රින්ට්’ තරගයේදී දෙවන ස්ථානය දිනා ගැනීම ඔහුගේ මංගල තරග වාරයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් විය.

ෆෝමියුලා 3 තරගාවලියට පිවිසීමට පෙර, 2025 වසරේ පැවැති ‘Euroformula Open’ ශූරතාවලියේදී ජයග්‍රහණ 6 ක් සහ ජයග්‍රාහී වේදිකාවේ ස්ථාන 14 ක් දිනා ගනිමින් එහි දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද යෙවාන් සමත් විය.

මෙම නිල ප්‍රකාශනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යෙවාන් ඩේවිඩ් සඳහන් කළේ, මෙය සිය මෝටර් රථ ධාවන ජීවිතයේ ඉදිරියට තැබූ නිවැරදි පියවරක් බවයි. කණ්ඩායමේ නායකත්වය, අත්දැකීම් සහ තරගකාරී ප්‍රවේශය ද ඔහු මෙහිදී ඇගයීමට ලක් කළේය.

‘වෑන් අමර්ස්ෆෝට් රේසිං’ කණ්ඩායමේ ප්‍රධානී බ්‍රැඩ් ජොයිස් මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සාදරයෙන් පිළිගනිමින්, ඔහුගේ පවතින දක්ෂතාවය සහ සිල්වර්ස්ටෝන් තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාව ඇගයීමට ලක් කළේය. යෙවාන්ගේ අත්දැකීම් පදනම් කරගනිමින් 2027 තරග වාරයේදී වඩාත් ඉහළ ජයග්‍රහණ අත්කර ගැනීමට කණ්ඩායම බලාපොරොත්තු වන බව ද ජොයිස් පැවසීය.

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ඉදිරියටම යාමටත්, ෆෝමියුලා තරග අංශයෙන් තවදුරටත් සාර්ථකත්වය කරා ගමන් කිරීමටත් මෙම නව එකතුව යෙවාන් ඩේවිඩ්ට මහඟු අවස්ථාවක් සලසා දෙනු ඇත.