October 15, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති ‘සිවුරට යුක්තිය – නිදහසේ පාගමන’ අද එහි අවසන් දිනය සනිටුහන් කරමින් කොළඹ නගරය වෙත ළඟාවීමට නියමිතව තිබේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසින් ඉකුත් ඔක්තෝබර් 10 වන දින ආරම්භ වූ මෙම පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ සහ නිට්ටඹුව හරහා ඊයේ පස්වරුවේ කඩවත නගරය වෙත ළඟා විය. එහි අවසන් අදියර අද උදෑසන කඩවතින් ආරම්භ වී කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ඥානසාර භික්ෂුව නිදහස් කිරීමට රජය වහා පියවර ගත යුතු බව සහ පාගමනට එක්ව සිටින සංඝරත්නය රජයෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත්ය.

“අද අපේ අවසන් දිනයයි. සතර දිගින් වැඩම කළ මහා සංඝරත්නය ආපසු වඩින්නේ හිස් අතින් නෙමෙයි. මහා නායක හිමිවරුන් ඇතුළු සැමගේ බලාපොරොත්තුව වන ඥානසාර හිමියන්ගේ නිදහස ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක පැලවත්ත, පාර්ලිමේන්තුව හෝ ජනාධිපති මන්දිරය ඇතුළු නිර්දේශ කරන ඕනෑම ස්ථානයකදී හමුවීමට සංඝරත්නය සූදානම් බවත්, ඒ පිළිබඳ පණිවිඩය ලැබෙන තෙක් බලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. එමෙන්ම සාමකාමී ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් රජයට සිය බලපෑම එල්ල කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වන බවට ද උන්වහන්සේ මෙහිදී පැවසූහ