August 30, 2023

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු, රජය නියෝජනය කරන කිසිදු පාර්ශ්වයක් සමඟ අදාළ විමර්ශන පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව කතෝලික සභාව සඳහන් කර ඇත.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා (28) ත්‍රස්ත ප්‍රහාර පිටුපස ඇති සත්‍යය හෙළිකිරීමට පල්ලිය ඇතුළු කතෝලික ප්‍රජාවට ඇති අවශ්‍යතාව පිළිබඳව කනස්සල්ලක් මතු කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එකතු වී එම විමර්ශනවල ප්‍රගතිය විශ්ලේෂණය කරන ලෙසට ඔවුන්ට කළ ආරාධනයට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද සඳහන් කර ඇත.

ටිරාන් අලස් ඇමැතිවරයා ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම පමණක් සිදුකරනවා මිස කළ යුතු දේ නොකරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමෝ චෝදනා කරති.

ඇතැම් පාර්ශව මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය සාකච්ඡා පැවැත්වීම මිස සත්‍ය හෙළි කිරීමට උනන්දු නොවන බවත්, ඇමැතිවරයාත් ඒ දේම කරන බවත්, උන්වහන්සේ පෙන්වාදෙති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ යුතු බවට විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කර ඇතත් රජය එම නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බව එතුමෝ සඳහන් කරති.

එමෙන්ම ටිරාන් අලස් ප්‍රථමයෙන් කළ යුත්තේ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම් කිරීම බවද පල්ලිය අවධාරණය කරයි.

විමර්ශන වාර්තාව භාරදීම ගැන ඔවුන් ඇමැතිවරයාට ස්තූතිවන්ත වුවද එහි අන්තර්ගතය වචනවලට සීමා කරන්නේ නම් වාර්තාවක් ලැබීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න පිළිබඳ පල්ලිය වැඩිදුරටත් ප්‍රශ්න කරයි.