November 23, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

ඒ, අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී විත්තිකරුවන් දෙදෙනාම තමන් එම චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අධිකරණය සාක්ෂි විභාගය ආරම්භ කළේය. වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොතිබියදී 2006 වසරේදී යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පුහුණුව සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.