November 23, 2026

නව කැලණි පාලම, වරාය පිවිසුම් කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ කිරීමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද (23) සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

එම අධිකාරිය පවසන්නේ මෙම දින අටක කාලය තුළ ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවට විවිධ වේලාවන්හිදී මෙම මාර්ග වසා තැබීම බලපාන බවයි.

ඒ අනුව මාර්ග වසා තැබෙන කාලසටහන පහත පරිදි වේ:

අද (23) රාත්‍රී 9.00 සිට නොවැම්බර් 25 වැනිදා අලුයම 5.00 දක්වා: පිවිසුම් සහ පිටවීමේ මාර්ග දෙකම වසා තැබේ.

නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා: සෑම දිනකම රාත්‍රී 9.00 සිට පසුදින අලුයම 5.00 දක්වා පිටවීමේ මාර්ගය පමණක් වසා තැබේ.

නොවැම්බර් 28 වැනිදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 01 වැනිදා අලුයම 5.00 දක්වා: පිවිසුම් සහ පිටවීමේ මාර්ග දෙකම නැවත වසා තැබේ.

කටුනායක සහ ඔරුගොඩවත්ත දෙස සිට කොළඹ වරාය සහ ඉඟුරුකඩේ හන්දිය දෙසට ගමන් කරන වාහනවලට මෙන්ම, වරාය සහ ඉඟුරුකඩේ හන්දිය දෙස සිට කටුනායක සහ බොරැල්ල දෙසට ගමන් කරන වාහනවලට මෙමඟින් බලපෑම් එල්ල වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ සඳහා භාවිත කළ හැකි විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇති අතර ඒ අනුව කටුනායක හෝ මහනුවර දෙස සිට කොළඹ වරාය සහ ඉඟුරුකඩේ හන්දිය දෙසට ගමන් කරන රියදුරන් පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීමේ දොරටු භාවිත කළ යුතුය.

ඔරුගොඩවත්ත දෙස සිට කොළඹ වරාය දෙසට ගමන් කරන වාහන නව කැලණි පාලමේ පහළ මාර්ගය භාවිත කළ යුතුය.

කොළඹ වරාය හෝ ඉඟුරුකඩේ හන්දිය දෙස සිට කටුනායක දෙසට ගමන් කරන රියදුරන් නව කැලණි පාලමේ පහළ මාර්ගය ඔස්සේ ගමන් කර පෑලියගොඩ පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය යුතුය.

කොළඹ වරාය හෝ ඉඟුරුකඩේ හන්දිය දෙස සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහන ද නව කැලණි පාලමේ පහළ මාර්ගය භාවිත කළ යුතු වේ.

ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන මෙම කාලසීමාව තුළ නම් කර ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින අතර, මේ හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කර සිටියි.