November 23, 2026

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට තේරී පත් වූ පළමු පලස්තීන ජාතිකයා මෙන්ම පළමු මුස්ලිම් කාන්තාව බවට පත්වෙමින් ඒබර් කවාස් ඉතිහාසයට එක්ව තිබේ.

නිව්යෝර්ක් නගරයේ විශාලතම අරාබි ප්‍රජාවක් වෙසෙන වයඹදිග ක්වීන්ස් ප්‍රදේශය ආවරණය වන 12 වැනි දිස්ත්‍රික්කයෙන් තරග කළ 34 හැවිරිදි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අපේක්ෂිකාවක වන ඇය, 74.5% ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රිපබ්ලිකන් අපේක්ෂක හන් ඛොන් ටෝ පරාජය කිරීමට සමත් වූවාය.

පසුගිය නොවැම්බර් 3 වැනි දින පැවැති මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සිය ආධාරකරුවන් අමතමින් කවාස් ප්‍රකාශ කර ඇත්තේ, නිව්යෝර්ක් සෙනෙට් ඉතිහාසයේ පළමු පලස්තීන ජාතිකයා ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගෙන ඇති බවයි.

නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සහය ලැබූ කවාස්, පලස්තීන විමුක්තිය වෙනුවෙන් වූ සිය ප්‍රතිපත්ති පාවා දීමට සිදුවේ යැයි බියෙන් මුලදී මැතිවරණ දේශපාලනයට පිවිසීමට පසුබට වී ඇත. එහෙත් වෙනස් වෙමින් පවතින දේශපාලන වාතාවරණය සහ පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් වර්ධනය වන ජනතා සහයෝගය තමන්ව මැතිවරණයට ඉදිරිපත් වීමට දිරිමත් කළ බව ඇය සඳහන් කළාය.

1948 සහ 1967 වසරවලදී පලස්තීනයෙන් අවතැන් වූ දෙමාපියන්ට දාව උපන් කවාස්, ඇමරිකාවේදී දැඩි ආගමන විගමන දුෂ්කරතා මැද හැදී වැඩුණු තැනැත්තියකි. ඇය කුඩා කාලයේදී ඇමරිකානු ආගමන බලධාරීන් විසින් සිය පියා රඳවා තබා ගැනීම, ඇයව සමාජ ක්‍රියාකාරීත්වයට යොමු කිරීමට ප්‍රබල ලෙස බලපා තිබේ.

ස්වේච්ඡා සේවකයන් 1,000 කට අධික පිරිසකගේ ශක්තියෙන් ක්‍රියාත්මක වූ ඇගේ මැතිවරණ ව්‍යාපාරය දැරිය හැකි මිලකට නිවාස, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය සහ පලස්තීන සහයෝගීතාව මුල් කර ගනිමින් දියත් විය. ප්‍රාන්ත සෙනෙට් සභිකවරියක ලෙස සිය පළමු කාර්යය වනුයේ, ඊශ්‍රායල නීතිවිරෝධී ජනාවාස සඳහා නිව්යෝර්ක්හි ලාභ නොලබන සංවිධාන හරහා ලැබෙන ආධාර වැළැක්වීම වෙනුවෙන් 2023 වසරේදී තමන් සහ මම්දානි එක්ව කෙටුම්පත් කළ ‘Not on Our Dime!’ පනත් කෙටුම්පතට නැවත පණ දීම බව ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඇමරිකානු දේශපාලනය තුළ පලස්තීන හිතවාදී සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින්ට හිමිවන ජනතා ප්‍රසාදය ඉහළ යමින් පවතින පසුබිමක ඇය ලැබූ මෙම ජයග්‍රහණය අන්තර්ජාතික දේශපාලන විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.