November 23, 2026

ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් ධීවරයින් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා තිබේ.

පොලිසිය පවසන පරිදි, ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයින් තිදෙනා ගැටී ඇත්තේ ඔවුන් දුම්රිය මාර්ගයේ රැඳී සිටියදීය.

අනතුරින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවන්ගෙන් එක් අයකු පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර සහ දෙවුන්දර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 48 සහ 58 යන වයස්වල පසුවූ ධීවරයන් දෙදෙනකු බවට හඳුනාගෙන තිබේ.

මෘතශරීර ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.