August 25, 2023

මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල බව හුවාදැක්වීම සඳහා අදාළ යෝජනා ක්‍රම සාධාරණීකරණය කරමින් ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමටකටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක් මෑතකදී ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

එහිදී අදාළ වංචනික පාර්ශ්වයන් විසින් විවිධ උපක්‍රම භාවිත කරමින් ව්‍යාජ පැහැදිලි කිරීම් ජනතාවට සිදුකරන බව මහ බැංකුව පෙන්වාදෙයි.

එනම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව, යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව, යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබාගැනීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකළහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව, මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම්දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනයන්හි ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති බවත්, පහත සදහන් සබැඳි හරහා ප්‍රවේශ විය හැකි බවත් මහ බැංකුව පෙන්වාදෙයි.

https://www.cbsl.gov.lk/authorized-financial-institutions

https://www.dfe.lk/web/index.php?option=com_content&view=article&id=82&Itemid=513&lang=en

මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් දෙයි.

එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධවීමෙන් තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් අහිමිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවැනි යෝජනා ක්‍රමවල නිරත නොවන ලෙස හෝ ආයෝජනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබාදෙයි.