November 11, 2026

2026 වසරේ මුල් මාස හය (ජනවාරි – ජූනි) තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 29.2 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ රජය විසින් ලබා දුන් රුපියල් බිලියන 41 ක සහනාධාර මුදල ද මෙම ලාභයට ඇතුළත් වේ.

මුදල් අමාත්‍යාංශයේ 2026 වසරේ මධ්‍ය වාර්ෂික මුල්‍ය තත්ත්ව වාර්තාවට අනුව, 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 17 ක ශුද්ධ ලාභය හා සැසඳීමේදී මෙම වසරේ මුල් අර්ධයේ ශුද්ධ ලාභය සියයට 71.8 කින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, සංස්ථාවේ දළ ලාභය පෙර වසරේ පැවති රුපියල් බිලියන 32.8 සිට සියයට 72.9 ක සීග්‍ර කඩාවැටීමක් පෙන්වමින් රුපියල් බිලියන 8.9 දක්වා අඩුවී තිබියදීත් මෙලෙස ශුද්ධ ලාභය ඉහළ යාම විශේෂත්වයකි.

අප්‍රේල් සහ ජූනි අතර කාලයේදී භාණ්ඩාගාරයෙන් ලැබුණු සහනාධාරය හේතුවෙන් සංස්ථාවේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 23.9 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ අදාළ කාලය තුළ එම අගය සටහන් වූයේ රුපියල් බිලියන 11.1 ක් ලෙසය.

මැදපෙරදිග අර්බුදය උග්‍රවීමත් සමග ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා 2026 දෙවන කාර්තුවේදී රජය විසින් දේශීය තෙල් වෙළඳපොළ නියෝජිතයන් වෙත රුපියල් බිලියන 57 ක පමණ ඉන්ධන සහනාධාරයක් ලබාදී ඇති අතර, ඉන් රුපියල් බිලියන 41 ක්ම වෙන්කර ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතය.

ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වූ බාධා හේතුවෙන් දේශීය ඉන්ධන මිල ඉහළ යාම නිසා 2026 ජනවාරි-ජූනි කාලය තුළ සංස්ථාවේ ශුද්ධ විකුණුම් ආදායම සියයට 40.4 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 576.6 ක් ලෙස සටහන් විය. පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී එම ආදායම රුපියල් බිලියන 410.7 ක් විය.

එමෙන්ම 2026 මුල් මාස හය තුළ සංස්ථාවේ තෙල් ආනයන වියදම ද සියයට 73.8 කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක් දක්වා වර්ධනය වී ඇති අතර, 2025 අදාළ කාල සීමාවේදී එය සටහන් වූයේ ඩොලර් බිලියන 1 ක් ලෙසිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විකුණුම් පිරිවැය සියයට 50.2 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 567.6 දක්වා වැඩි වී තිබේ.