November 11, 2026

කොළඹ නගරයට පමණක් සීමා වී තිබූ ‘මෙට්‍රෝ බස්’ සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙත ද ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන වසරේදී යාපනය නගරයට එම සේවාව හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

යාපනය නගරය තුළ මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීම සහ ඊට සුදුසු මාර්ග තේරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන සමග මූලික සාකච්ඡා පවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. හඳුනාගත් මාර්ගවල සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා නියමු ධාවන ද දැනටමත් සිදුකර ඇති අතර, 2027 වසරේදී යාපනය තුළ සාර්ථක ලෙස මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර, මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමේ දෙවන අදියර සඳහා මහනුවර නගරය තෝරාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ වෙනුවෙන් මාසයක කාලයක් පුරා මහනුවරදී නියමු මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සේවාව සඳහා සුදුසු මාර්ග හඳුනා ගැනීමට ද කටයුතු කර ඇත.

ආරම්භයේදී බස් රථ 10 කින් කොළඹදී ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව මේ වන විට බස් රථ 122 දක්වා ඉහළ නංවමින් සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සේවාව දිවයින පුරා පිහිටි අනෙකුත් ප්‍රධාන නගර වෙත ද ව්‍යාප්ත කිරීම සඳහා 2029 වසර දක්වා වූ විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් රජය විසින් මේ වන විට සකස් කර තිබේ.