December 14, 2023

දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් වන ගෝලීය දෙමළ සංසදය (GTF) සහ ඇතැම් ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් සකස් කරනලද ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.

පසුගිය සතියේ, ගෝලීය දෙමළ සංසද දූත පිරිස සහ ඉහළපෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේ ගණනාවක් විසින් බහුත්ව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින “ඒකාබද්ධ හිමාල ප්‍රකාශය” ජනාධිපති සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වූහ.

බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ‘The Morning’ වෙත පවසා ඇත්තේ, අදාළ ප්‍රකාශයට අත්සන් කළ පාර්ශ්ව සමඟ අමාත්‍යංශයට කිසිදු සම්බන්ධයක් නොමැති අතර සවිස්තරාත්මක ප්‍රකාශය අමාත්‍යංශයට තවමත් ලැබී නොමැති බවයි.

එබැවින් එකී ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව ඔහු පවසා ඇත.

කෙසේවෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ එවැනි ඕනෑම ප්‍රකාශයක් ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබන්නේ එම ප්‍රකාශය පැහැදිලිව දැකීමෙන් පසුව බවයි.

ඊට අදාළ ලිපි ලේඛන අමාත්‍යංශය වෙත ලැබී නොමැති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු කියාසිටියි.

එවැනි ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ.පී.සිරිබද්දන පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ගෝලීය දෙමළ සංසදය සහ ඉහත කී බෞද්ධ නියෝජිත පිරිස අතර සහයෝගී ප්‍රයත්නයක් වන “ඒකාබද්ධ හිමාල ප්‍රකාශය” එහි සියලුම ප්‍රජාවන්ගේ යහපැවැත්ම සක්‍රීයව ප්‍රවර්ධනය කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනීසිටී.

එය ජාතියේ ඓතිහාසික වැරදි පියවරවලින් ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කරන අතරම, වගවීම සහතික කෙරෙන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ජනාධිපති වික්‍රමසිංහ මෙම මුලපිරීම සඳහා සිය ප්‍රසාදය පළකර ඇති අතර ප්‍රකාශයේ දක්වා ඇති නිර්දේශ සළකා බලන බවද ප්‍රකාශකර තිබිණි.

මේ අතර, “යහපත් ශ්‍රී ලංකාවක් සඳහා සඟරුවන (බෞද්ධ පැවිදි)” සංවිධානය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ පිරිසක් සහ ගෝලීය දෙමළ සංසදයේ නියෝජිත පිරිසක් අඟහරුවාදා (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවූ අතර එහිදී සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ලිපි හයක් ඇතුළත් “හිමාල ප්‍රකාශය” ඉදිරිපත් කරන ලදී.

අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, ගෝලීය දෙමළ ප්‍රජාව,භික්ෂූන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවති බවයි.

මෙම ප්‍රකාශනය 2023 අප්‍රේල් මාසයේදී නේපාලයේ සියලුම පාර්ශ්වවල භික්ෂූන් වහන්සේ සහ විවිධ රටවල දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සකස් කරන ලද්දක් බව ද අනාවරණය විය.