June 29, 2026

පාතාල කල්ලි නායක කරන්දෙණියේ රාජුට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමේ චෝදනා මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු සහ අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා පාතාල නායක කෙහෙල්බැද්දර පද්මේ ඇතුළු තවත් පාතාල අපරාධකරුවන් පිරිසකට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දී ඇති බවට ලැබී ඇති තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇත.

මොහු කෙහෙල්බැද්දර පද්මේ සමග ද සබඳතා පවත්වා ඇති බව මේ වනවිට හෙළිවෙමින් තිබෙයි.

සැකකාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා 2023 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස රාජකාරි කළ කාලසීමාවේ මෙම ව්‍යාජ විදේශගමන් බලපත්‍ර පාතාල අපරාධකරුවන් වෙත සකස් කර දී ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත පෙරේදා (27දා) ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (30දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහි වැඩබලන මහේස්ත්‍රාත් යසන්ත පෙරේරා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පවසන්නේ සැකකරු ‘කරන්දෙණියේ රාජු’ වෙනුවෙන් මෙම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සකස් කර දී ඇත්තේ ඝාතනයට ලක් වූ ගණේමුල්ලේ සංජී නැමැති පාතාල නායකයාගේ ඉල්ලීමක් මත බවයි.

දකුණු පළාතේ දරුණුම ගණයේ පාතාල නායකයා ලෙස හැඳින්වෙන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වන කරන්දෙණියේ රාජු මේ වනවිට මිනිස් ඝාතන 50කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකරුවෙකි.

මොහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන ඩුබායි රාජ්‍යයේ සිට ඉන්දියාවට පැමිණ යුරෝපය බලා පලායෑමට උත්සාහ කරද්දී ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 17 වැනිදාය.

පසුව ශ්‍රී ලංකාවට රැගෙන ආ කරන්දෙණියේ රාජුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දුන් මෙම සැකකරු පිළිබඳ තොරතුරු හෙළි විය.

ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව හෙළි වූයේ මොහු මහනුවර පදිංචි 41 හැවිරිදි වියේ පසුවන ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු බවයි.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු මේ ආකාරයට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දුන් පාතාල අපරාධකරුවන් කීපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොදිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොදිතුවක්කු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක මධුසංඛ ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

(උපුටාගැනීම – දිවයින)