August 7, 2026

මීගමුව, දළුපොත පල්ලන්සේන විවෘත එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ අතර, මෙම නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට ගල් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැඟී විරෝධතාවයක නිරත වීමත් සමඟ මීගමුව, දළුපොත පල්ලන්සේන විවෘත එළිමහන් බන්ධනාගාරය වටා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

තත්ත්වය පාලනය කර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), පොලිස් කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා තිබේ.

අද (07) උදෑසන රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මතට නැඟ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව, මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන විවෘත එළිමහන් බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු යොදා තිබිණි.