May 12, 2026

කැබිනට් අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීම සඳහා කාලසටහනක් ඉදිරිපත් කරන ලෙස බලකිරීමත්, පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට අධික සංඛ්‍යාවක් ප්‍රසිද්ධියේම ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමත් නිසා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර්ගේ බලය ගිලිහී යන බව පෙනෙන්නට ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

නායකත්ව මැතිවරණයක අවුල් සහගත තත්ත්වයකට පක්ෂය ඇද දැමීම සම්බන්ධයෙන් රට කිසිදා කම්කරු පක්ෂයට සමාව නොදෙනු ඇති බවට අග්‍රාමාත්‍යවරයා ද එම මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

පක්ෂය ඇතුළත සහ පිටත තමා ගැන සැක කරන්නන් වැරදි බව ඔප්පු කිරීමට තමා අදහස් කරන බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන ඊයේ දිනයේදී අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සමඟ සාකච්ඡා කළ පිරිස අතර ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද්, විදේශ ලේකම් ඉවෙට් කූපර්, ආරක්ෂක ලේකම් ජෝන් හීලි සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී යන ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනා සිටි බව ද ගාඩියන් (The Guardian) පුවත්පත වාර්තා කරයි.

දරුණු මැතිවරණ පරාජය හමුවේ ඔහුගේ අගමැති ධුරය අවසන් වීමේ අවදානමක් පවතින බැවින්, විධිමත් ලෙස බලය පැවරීමේ ක්‍රියාවලියක් ඔහු විසින් මෙහෙයවිය යුතු බව ඇතැම් අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇත.

අනෙක් පිරිස ස්ටාර්මර් සමඟ සාකච්ඡා කළේ මීළඟට සිදුවිය යුතු දේ සම්බන්ධයෙන් වගකිවයුතු, ගෞරවනීය සහ විධිමත් ප්‍රවේශයක් ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

රිචඩ් හර්මර් සහ ස්ටීව් රීඩ් ඇතුළු තවත් කිහිප දෙනෙකු අභියෝග හමුවේ අඛණ්ඩව සටන් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ.