November 12, 2026

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකාරිය වී මහාධිකරණයෙන්ද දඬුවම් ස්ථිර වූ ශෂී වීරවංශට අදාළ දඬුවම් නියම කිරීම ලබන 25 වන දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි දිනයක් ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. එමෙන්ම, විත්තිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනා නඩුවට අදාළ කාර්ය සටහන් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පෙර නඩු දිනයේදී නියෝග කර තිබිණි.

මෙම චෝදනාවට වරදකාරිය කරමින් 2022 මැයි 27 වන දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර, දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද නියම කර තිබිණි. පසුව 2026 ජුනි 11 වන දින මහාධිකරණය විසින්ද එම මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව එලෙසම ස්ථිර කරනු ලැබීය.