August 12, 2026

යුද්ධය පැවැති සමයේ නිත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවට ගොස් සරණාගතයන් ලෙස සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණීම සඳහා ආගමන නිශ්කාශන පහසුකම් සැලසීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හරහා නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මෙම පිරිස සඳහා නීතිපති උපදෙස් මත පදනම්ව පහසුකම් සැලසීමට නියමිතය.

මෙම නව ක්‍රමවේදය යටතේ අනුමත තොටුපොළකින් හෝ ගමන් බලපත්‍රයකින් තොරව රටින් පිටවූ, ඉන්දියාවේ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා අනන්‍යතාව තහවුරු කරගත් පිරිස් සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිශ්කාශන වාර්තාවක් ලබා ගැනේ. ඔවුන් මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහීත්වය වැනි බරපතල වැරදිවලට සම්බන්ධ නැත්නම්, තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කර 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත යටතේ නීතිමය පියවර ගැනීමකින් තොරව රටට ඇතුළු වීමට අවස්ථාව හිමිවේ.

අදාළ කාලසීමාවේදී අවිධිමත්ව සංක්‍රමණය වූ පුද්ගලයන් සඳහා ද අනන්‍යතාව සහ රාජ්‍ය බුද්ධි සේවා නිශ්කාශනය ලැබීමෙන් පසු, ආගමන හා විගමන පාලක ජනරාල්වරයාගේ බලතල ප්‍රකාරව කිසිදු නීතිමය බාධාවකින් තොරව මෙරටට ඇතුළු වීමට පහසුකම් සැලසේ.

කෙසේවෙතත්, මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහීත්වය හෝ වෙනත් විශේෂ වැරදි සඳහා වරදකරුවන් වන පුද්ගලයන් පැමිණියහොත්, ඔවුන් තොටුපොළේදීම රඳවාගෙන අදාළ නීතිමය පියවර ගැනීම සඳහා සුදුසු ආයතන වෙත යොමුකෙරෙනු ඇත.