July 18, 2026

අධිකරණය විසින් අනුමත කරන ලද සංචාරයකින් පසුව බ්‍රිතාන්‍ය ජාතික මවක් සිය කුඩා පුතුන් දෙදෙනා ඇමරිකානු පියා වෙත භාර නොදී, අමෙරිකා එක්සත් ජනපදයෙන් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත වාර්තා කරයි.

34 හැවිරිදි නිශිකා සමරතුංග නමැති මෙම කාන්තාව, සිය 5 හැවිරිදි බ්ලේන් බේයර් සහ 3 හැවිරිදි නතානියෙල් නේට් බේයර් යන පුතුන් දෙදෙනා යළි අමෙරිකාවට රැගෙන යන ලෙස ලැබුණු අධිකරණ නියෝගය නොතකා බ්‍රිතාන්‍යයේ රඳවා තබාගැනීම හේතුවෙන් මේ වන විට අන්තර්ජාතික ළමා භාරකාරත්ව ආරවුලක් නිර්මාණය වී තිබේ.

ඇමරිකාවේ උපත ලබා කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් අසල සිය පියා සමඟ ජීවත් වූ මෙම දරුවන් දෙදෙනා, මව්පියන් වෙන්වීමෙන් පසු සිය මව සමඟ කාලය ගත කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යය බලා ගොස් ඇත.

ඔවුන් මාර්තු 29 වැනිදා නැවත ඇමරිකාවට පැමිණීමට නියමිතව තිබුණද, නිශිකා සමරතුංග ඔවුන්ව ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් නොමැති අතර එතැන් සිට දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

මේ හේතුවෙන් දරුවන්ගේ පියා වන බෙන් බේයර් ඔවුන්ව නැවත ලබාගැනීම සඳහා එක්සත් රාජධානියේ මහාධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

මීට පෙර කොලරාඩෝ අධිකරණයක පැවැති නඩු විභාගයකදී දරුවන් ස්ථිරවම ලන්ඩන් වෙත රැගෙන යාමට නිශිකා සමරතුංග කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති අතර, එහිදී දරුවන්ගේ ප්‍රධාන භාරකාරත්වය පියා වෙත පවරා ඇත.

මෙම දරුවන් දෙදෙනාම ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන බැවින් ඔවුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ දෛනික චර්යාවන් සඳහා ස්ථාවරත්වයක් අවශ්‍ය බව පවසමින් පියා ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව දැඩි කනස්සල්ල පළකරයි.

අන්තර්ජාතික දේශසීමා හරහා සිදුවන මෙවැනි ළමා පැහැරගැනීම් 1980 හේග් සම්මුතිය වැනි අන්තර්ජාතික යාන්ත්‍රණයන් හරහා විසඳීමට කටයුතු කෙරේ.