October 20, 2026

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශීය රටවල් කිහිපයකින් එවා තිබූ සැකකටයුතු තැපැල් පාර්සල් 11 ක් පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 67.53 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

රටවල් 8 ක සිට එවා තිබූ මෙම පාර්සල් තුළ සඟවා තිබී ‘කුෂ්’ ගංජා කිලෝග්‍රෑම් 3.1 කට වැඩි ප්‍රමාණයක්, එක්ස්ටසි පෙති ග්‍රෑම් 2,395 ක් සහ මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 ක් සොයාගෙන ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් විදේශයන්හි සිට ලැබෙන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් සිදුකරන ලද සූක්ෂම පරීක්ෂාවන්හිදී පසුගිය මාස කිහිපය තුළ මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබිණි.

අදාළ පාර්සල් භාරගැනීමට නියමිත පුද්ගලයන් ඒවා ලබාගැනීමට පැමිණෙන තෙක් රේගු භාරයේ තබාගෙන සිටි අතර, නියමිත කාලය තුළ කිසිවකුත් ඒවා ලබාගැනීමට නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී එම පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම විධිමත් පරීක්ෂාව සිදුකර තිබේ.

තායිලන්තය, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල සිට මෙම පාර්සල් එවා තිබූ බවට අනාවරණය වී ඇත. තායිලන්තය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියෙන් එවා තිබූ පාර්සල් තුළින් ‘කුෂ්’ ගංජා කිලෝග්‍රෑම් 3.1 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එහි අනුමාන වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 30.5 කට අධිකය.

මීට අමතරව, බෙල්ජියම, ප්‍රංශය, කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට එවා තිබූ පාර්සල්වලින් සොයාගත් එක්ස්ටසි පෙතිවල බර ග්‍රෑම් 2,395 ක් වන අතර, නෙදර්ලන්තයෙන් එවන ලද පාර්සලයකින් මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 ක් සොයාගෙන තිබේ.

මෙහිදී හසු වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය බෙල්ජියමෙන් එවන ලද පාර්සලයක තිබී හමු වී ඇති අතර, එහි තිබූ එක්ස්ටසි පෙති ග්‍රෑම් 2,202 හි වටිනාකම රුපියල් මිලියන 33.03 ක් පමණ වන බවට තක්සේරු කර ඇත.

මූලික පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.