October 20, 2026

වසර තිහකට අධික කාලයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් මිලදී ගෙන, රජයේ අවසරයකින් තොරව පුද්ගලික අංශයට අලෙවි කළ ඉඩමක් නැවත අත්පත් කර ගැනීමට නේපාල රජය පියවර ගෙන තිබේ.

නේපාලයේ ‘Onlinekhabar’ පුවත් සේවයට අනුව, තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා නේපාල රජය විසින් 1989 මැයි 18 වැනි දින කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් අක්කර 1.5ක ඉඩමක් ඇමරිකානු ඩොලර් 3,60,000ක මුදලකට මිලදී ගෙන ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ එවකට නේපාල නියෝජ්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කළ, දැනට ජීවතුන් අතර නොමැති ඇල්බට් එදිරිසිංහ විසින් 1990 සහ 1994 යන වසරවලදී අවස්ථා දෙකකදී මෙම ඉඩමෙන් අක්කරයක ප්‍රමාණයක් මෙලෙස අලෙවි කර ඇති බව කියැවේ.

මෙම දේපළ අලෙවි කිරීමට ඔහුට අවසර ලබා දුන් බවට කිසිදු ලේඛනයක් හෝ සාක්ෂියක් නොමැති බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය එරට පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

අදාළ වාර්තාවට අනුව, මෙම ඉඩම ප්‍රථමයෙන් 1990 සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 100,000කට අලෙවි කර ඇති අතර, පසුව 1994 මැයි මාසයේදී තවත් පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් 120,000කට පවරා තිබේ.

අවසරයකින් තොරව සිදුකළ මෙම ඉඩම් ගනුදෙනුව වසර 30කට වැඩි කාලයක් තිස්සේ අනාවරණය වී නොතිබූ අතර, නේපාල බලධාරීන් මේ පිළිබඳව දැනුවත් වී ඇත්තේ 2025 ජූනි 5 වැනිදා අදාළ ඉඩම පිරිසිදු කර වටකර වැටක් ගැසීමට ගිය අවස්ථාවේදීය.

පසුව මෙම කරුණ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානයට යොමු කර ඇති අතර, ඒ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කර ඇත. නේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂ්කාල් රායිට අනුව මෙම ඉඩමේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් පමණ වේ.

අදාළ දේපළෙහි හිමිකාරිත්වය තහවුරු කර ගනිමින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන් නේපාල තානාපති කාර්යාලයට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

නීති විරෝධී ලෙස සිදුකළ බව කියන මෙම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉඩම නැවත ලබා ගැනීම සඳහා නේපාල රජය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටී.