August 5, 2026

ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් අසලදී තරුණියකගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ 52 හැවිරිදි ශ්‍රී ලාංකික ගොඩනැගිලි භාරකරුවෙක් පිහි ප්‍රහාරයකට ලක්වීමේ පුවතක් ඉතාලි මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව ඇත.

2007 වසරේ සිට අදාළ ගොඩනැගිල්ලේ භාරකරු ලෙස සේවය කරන සුබාෂ් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා, සිය ජීවිතය පරදුවට තබමින් සිදුකළ මෙම මානුෂීය සහ නිර්භීත ක්‍රියාව ඉතාලිය පුරා මහත් ප්‍රශංසාවට ලක්ව තිබේ.

27 හැවිරිදි ඉතාලි ජාතික තරුණියක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී, 32 හැවිරිදි රුමේනියානු ජාතිකයකු ඇයගේ දුරකථන අංකය ඉල්ලා දිගින් දිගටම හිරිහැර කර ඇත.

බියට පත් තරුණිය අසල වූ ගොඩනැගිල්ලේ සිටි සුබාෂ්ගෙන් උපකාර ඉල්ලා ඇති අතර, ඔහු වහාම මැදිහත් වී ඇයට ආරක්ෂාව සලසා දෙමින් සැකකරු සමඟ කතාබහ කර ඇත.

ඒ සමඟම සැකකරු තාවකාලිකව පලා ගොස් තිබේ.

තරුණිය ආරක්ෂිතව පිටව ගිය පසු, මිනිත්තු කිහිපයකින් නැවත පැමිණි සැකකරු සුබාෂ්ගේ කාර්යාලයට කඩා වැදී මුදල් පසුම්බිය ඉල්ලා තර්ජනය කර ඇත.

ඊට විරුද්ධ වීමත් සමඟ ඇතිවූ ගැටුමේදී සැකකරු පිහියකින් සුබාෂ්ගේ උරහිසට සහ පිටුපසට ප්‍රහාර එල්ල කර පලා ගොස් ඇත.

බරපතළ ලෙස තුවාල ලැබූ සුබාෂ් වහාම රෝහල්ගත කර ඇති අතර, පිහි ප්‍රහාරය පෙනහළුවලට නොවැදීම නිසා ඔහුගේ ජීවිතය නූලෙන් බේරී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ වන විට රෝහලෙන් පිටව ගොස් නිවසේ සුවය ලබයි.

පලාගිය සැකකරු ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මිලානෝ පොලිසිය සමත් විය.

“මම වීරයෙක් නෙවෙයි. උදව් ඉල්ලපු කාන්තාවක් ආරක්ෂා කළා විතරයි. නැවතත් ඒ වගේ තත්ත්වයක් ආවොත් මම ආයෙත් ඒ දේම කරනවා,” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුබාෂ් පවසා සිටියේය.