March 26, 2025

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වී සංචාරක ව්‍යාපාරය ප්‍රකෘතිමත් වීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර තුනක ස්ථාවර කාර්ය සාධනයක් සනිටුහන් කරමින් මෙහෙයුම් ලාභ ලබමින් සිටින බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් පැවැසීය.

විදේශ උනන්දුව වර්ධනය වුවද, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිමිකාරිත්වය දේශීයව පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

ඔහු පෙන්වාදෙන්නේ, වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ගුවන් යානා සහ සේවාවන් පුළුල් කිරීම කෙරෙහි ගුවන් සමාගම දැන් අවධානය යොමුකර ඇති බවයි.

ඉදිරි වසර පහ තුළ ගුවන් සේවයේ ප්‍රමාණය දෙගුණ කිරීම අරමුණු කරගත් ව්‍යාපාර සැලැස්මක් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බව ද Aviation Festival Asia 2025 හි ප්‍රධාන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් රිචඩ් නට්ල් පැවසුවේය.

එමෙන්ම කල්බදු වෙළඳපොළේ තරඟකාරිත්වය විසින්, පිරිවැය ඉහළ දමා ඇති බව පෙන්වාදුන් නට්ල්, කෙටිකාලීනව, ගුවන් යානා ලබාගත හැකි වන විට ඒවා බදුදීමට ගුවන් සමාගම සැලසුම් කරන බව ද පැහැදිලි කළේය.

විශේෂයෙන්ම A330 ගුවන් යානාවලපැරණි ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින්, දිගු කාලීනව සැලසුම් සකස්කිරීමේ වැදගත්කම ඔහු පිළිගත්තේය.

ගුවන් සමාගමේ මූලික අවධානය දැනට පවතින ගමනාන්ත වෙත ගුවන් ගමන් වාර ගණන වැඩිකිරීම බව පැවසූ නට්ල් පෙන්වාදුන්නේ, පසුගිය වසර තුළ අග්නිදිග ආසියාවේ ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ධාරිතාව දෙගුණ කිරීමත් සමඟ කලාපයේ තරඟකාරිත්වය තීව්‍ර වී ඇති බවයි.

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ රටේ ආර්ථිකය යන දෙකටම සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම අවධාරණය කළ නට්ල්, සංචාරක ව්‍යාපාරය විශාලතම විදේශ මුදල් උපයන්නන්ගෙන් එකක් සහ සැලකිය යුතු සේවා යෝජකයකු ලෙසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බවත් සඳහන් කළේය.