October 20, 2026

කාවන්තිස්ස නමැති හස්තියාගේ මරණයෙන් පසුව, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගී වූ සහ තුවාල ලැබූ වන අලි පිළිබඳ වාර්තා ලැබෙමින් පවතින අතර, වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් එම සතුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් නිරන්තර පරීක්ෂාවෙන් පසුවෙති.

මේ අතර ‘අග්බෝ’ නමැති ප්‍රසිද්ධ හස්තියා ඊයේ පස්වරුවේ නාච්චදූව වැව් රක්ෂිතයේ සිටියදී වනජීවී නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයින් විසින් නිරීක්ෂණය කර ඇත.

‘තිරප්පනේ අලියා’ ලෙසද ප්‍රසිද්ධ අග්බෝ, මීට වසර කිහිපයකට පෙර තිරප්පනේ ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවූ අතර, වනජීවී පශු වෛද්‍යවරුන් සහ නිලධාරීන් ලබා දුන් ප්‍රතිකාරවලින් පසු සුවය ලැබීය.

දැනට අග්බෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වනජීවී නිලධාරීහු නිරීක්ෂණය කළහ. තිරප්පනේ වනජීවී නිලධාරීන් මෙම සත්වයා පිළිබඳව තවදුරටත් සමීපව සෙවිල්ලෙන් පසුවේ.

මේ අතර, අනුරාධපුර පිහිනියාගොල්ලෑව වේවැල්කැටිය ප්‍රදේශයේ අසනීප වී සිටින අලි පැටවෙකු වෙනුවෙන් වනජීවී නිලධාරීන් අඛණ්ඩව පැය 24 පුරාම සත්කාර සේවාවන් සපයයි. අදාළ වෛද්‍ය ප්‍රතිකාර ඉදිරියටත් ලබා දෙන බව නිලධාරීහු පැවසූහ.

එසේම, ඔක්තෝබර් 18 වැනිදා පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ කුඹුරකට ඇද වැටී අසනීප වී සිටි අවුරුදු 12ක් පමණ වයසැති පිරිමි අලියෙකුට, ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දී තිබේ.

පොළොන්නරුව කලාපයේ වනජීවී නිලධාරීන් එම අලියාට ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය සත්කාර සපයමින් සිටී.

වන අලියා දැකබලා ගැනීමට අදාළ ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙස නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සත්වයා වෙත ළඟාවීම හෝ ඡායාරූප සහ වීඩියෝ රූපගත කිරීමට උත්සාහ කිරීම මගින් සත්වයාගේ මානසික පීඩනය ඉහළ යන බවත්, එය පශු වෛද්‍යවරුන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වන බවත් ඔවුහු පවසති.

තවත් සිදුවීමකදී, වැලිකන්ද ප්‍රදේශයේදී ඉදිරිපස පාදයකට වෙඩි වැදී තුවාල ලබා සිටි, වයස අවුරුදු 35ක් පමණ වන සහ උස අඩි නවයහමාරක් පමණ වන අලියෙකුටද ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී සමීර කාලිංගආරච්චි ප්‍රමුඛ වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා ප්‍රතිකාර කරනු ලැබීය.

අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිප්පුකුලම ප්‍රදේශයේදී දකුණු ඉදිරිපස පාදයට තුවාල ලබා සිටි වන අලියෙකුට ද පසුගියදා සාර්ථකව ප්‍රතිකාර කරනු ලැබීය.

මේ අතර, අධික වර්ෂාව මධ්‍යයේ වුවද, සියඹලංගමුව ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකුට ඔක්තෝබර් 15 වනදා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කෙරිණි.

වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගංගා විජේසිංහගේ අධීක්ෂණය යටතේ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ, නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු හේවකොට්ට සහ පින්නවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිකාර මෙහෙයුම සිදු කර තිබිණි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ද අදාළ ස්ථානයට පැමිණ ප්‍රතිකාර කටයුතු නිරීක්ෂණය කළ අතර, අලියාගේ සෞඛ්‍ය තත්ත්වය, දැනට ලබා දෙන වෛද්‍ය සත්කාර සහ ඉදිරියට අවශ්‍ය සංරක්ෂණ පියවර පිළිබඳව සොයා බැලීය.

රාත්‍රී කාලයේදී අලියාගේ හැසිරීම් සහ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා රාත්‍රී දර්ශන තාක්ෂණය සහිත ඩ්‍රෝන යානයක් යෙදවීමට එහිදී තීරණය විය. මීට අමතරව, මීගලෑව සහ ගල්ගමුව වනජීවී අඩවි කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන් මුළු රාත්‍රිය පුරාම අලියා පිළිබඳව අවධානයෙන් පසුවීමට යොදවා ඇත.

රෝගී වූ සහ තුවාල ලැබූ වන අලින්ට ප්‍රතිකාර කිරීමේදී සහ උන් ආරක්ෂා කිරීමේදී වනජීවී නිලධාරීන් මුහුණ දෙන අඛණ්ඩ අභියෝග පිළිබඳව මෙම සිදුවීම් මාලාව හරහා නැවතත් දැඩි අවධානයක් යොමු වී තිබේ.