December 14, 2023

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද දේශගුණයට ඔරොත්තු දෙන ධීවර යාත්‍රා දෙකක් සහ නවීකරණය කරන ලද මත්ස්‍ය ප්‍රදර්ශන කුටි 30ක් ධීවර අමාත්‍යංශය වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ SL20 සහ SL23 ලෙස හඳුන්වන එම ධීවර යාත්‍රා දිගින් මීටර් 6.3 සහ 7ක් වන අතර ඒවා ශ්‍රී ලංකාවේ වෙරළබඩ ධීවර කටයුතු සඳහා ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති බවයි.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව, මෙම බෝට්ටු ධීවරයින්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කර ඇති අතර,දැඩි කුණාටු සහ සුළි සුළං ඇතුළු දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝගවලට ඔරොත්තු දෙන ලෙස සහ පෙරළීමට ඔරොත්තු දෙන ලෙස ඉදිකර ඇත.

මෙම දේශගුණයට ඔරොත්තු දෙන බෝට්ටුවල සැලසුම් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ධීවර යාත්‍රා සැලසුම් දත්ත ගබඩාව හරහා නොමිලේ ලබාගත හැක.

“තිරසාර සංවර්ධනය සඳහා ධීවර හා ජලජීවී සම්පත් වගකීමෙන් යුතුව භාවිත කිරීම” පිළිබඳ නෝර්වීජියානු රජයේ මුල්‍ය භාර අරමුදල් ව්‍යාපෘතියේ අරමුදල් හරහා මෙම බෝට්ටු සැලසුම් කිරීම සහ ඉදිකිරීම සිදුකරන ලද අතර, ඒ වෙනුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 9ක මුදලක් වෙන් කර ඇත.

බෝට්ටුවලට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ධීවර අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ධීවර දිස්ත්‍රික්ක 15ක් පුරා ආදර්ශ මත්ස්‍ය අලෙවිසැල් 30ක් හඳුන්වාදෙන ලදී.

ධීවර අමාත්‍යංශය යටතේ ඇති Cey-Nor පදනම විසින් නිර්මාණය කරන ලද මෙම ප්‍රදර්ශන කුටි,පසු අස්වනු නෙළීමෙන් පසු මත්ස්‍ය තත්ත්ව හානිය අවම කරගැනීම අරමුණු කරමින් ආරක්ෂිත තත්ත්වයන් පවත්වාගෙන යෑමට හැකිවන ලෙස සකස්කර ඇත්තේ මාළු සිල්ලර අලෙවිය සඳහාය.

නාරා ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බොහෝ මාළු සිල්ලර වෙළෙන්දන් අතර ප්‍රමාණවත් නඩත්තු පිළිවෙත් නොමැති බවයි.

එළිමහන් මත්ස්‍ය කුටි බොහෝ විට හිරු එළිය හා පාරිසරික උපද්‍රව සමඟ සෘජුව ස්පර්ශ වන පරිදි අයිස් නොමැතිව මාළු ප්‍රදර්ශනය කරයි.

ආදර්ශ මත්ස්‍ය ප්‍රදර්ශන කුටි මාළු සිල්ලර වෙළෙන්දන් අතර ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නේ පාරිභෝගිකයා අතට පත්වනතුරු මාළුවල ගුණාත්මකභාවය පත්වාගැනීමටයි.

“මෙම විශේෂයෙන් නිර්මාණය කරන ලද බෝට්ටු සහ මත්ස්‍ය අලෙවිසැල් භාරදීම අපගේ ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ අපගේ වෙළඳපොළේ සමස්ත මාළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තීරණාත්මක පියවරක්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ ඇති මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ තිරසාර ධීවර සංවර්ධනය සඳහා අපගේ ඒකාබද්ධ කැපවීම සංකේතවත් කරනවා.” යැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයට කෘතඥතාව පළ කරමින් සඳහන් කර ඇත.