June 12, 2024

දෛනික වැටුප රුපියල් 1700 නොගෙවූ වතු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ලංකා කම්කරු කොංග්‍රසය අනතුරු අඟවා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන් පවසන්නේ පසුගිය මාසයේ දිනක වැටුප රුපියල් 1700ක් ගෙවිය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කළද ඇතැම් වතු සමාගම් දෛනික වැටුප ලෙස ගෙවා ඇත්තේ රුපියල් 1000ක් පමණක් බවය.

මේ හේතුවෙන් වතු කම්කරුවන් සහ වතු සමාගම් අතර ගැටුමක් ඇති වූ බවද ඔහු පවසයි.

එම ගැසට් නිවේදනයට අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වූ වතු සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව තොණ්ඩමන් සඳහන් කරයි.

මේ අතර මීට පෙර, ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඇමැති ජීවන් තොණ්ඩමන්ට චෝදනා කළේ නිර්ලජ්ජිත ලෙස නීතිය නොසළකා හරිමින් කටයුතු කළ බවටයි.

පසුගියදා නුවරඑළිය පේද්‍රෝ වතුයායේ දී ඇමැති ජීවන් තොණ්ඩමන් විසින් ප්‍රදර්ශනය කරන ලද නීති විරෝධී සහ පිළිගත නොහැකි හැසිරීම දැඩි ලෙස හෙළා දකින බව ද නිවේදනයක් නිකුත් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබිණි.

එවැනි ක්‍රියාවන් යුක්තිය සහ නීතියේ ආධිපත්‍යයේ මූලධර්මවලට හානි කරනවා පමණක් නොව සියලුම කර්මාන්ත පාර්ශ්වකරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ද එල්ල කරන බව එම සංගමය පෙන්වා දී තිබිණි.

ඔවුන් රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් ඊට වගකීම සඳහා පියවර ගන්නා ලෙසයි.