October 8, 2026

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලේතැන්න සඳහන් කළේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඉදිරි කටයුතු සිදුකරන බවයි.

ශිරන්ති රාජපක්ෂ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.

ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගැනීම සහ එම මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ නිරෝධන නීති හා පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා මත හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂව ඊයේ උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර, අදාළ විමර්ශනයටම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අදාළ රාජ්‍ය බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමට අවශ්‍ය බව පවසමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 10ක් ලබාගත් බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත.

එම ස්කෑනර් යන්ත්‍රය රෝහලට ලබාදෙනවා වෙනුවට අදාළ මුදල් පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදාගනිමින් රජයේ මුදල් සපරාධී ලෙස සදොස් ලෙස පරිහරණය කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අදාළ මුදල් නිසි පටිපාටිය අනුගමනය නොකර සිරියලිය ගිණුමට බැරකළ බවට එල්ල වූ චෝදනා මත, රාජ්‍ය බැංකුවේ හිටපු සභාපති සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබිණි.