November 27, 2026

රුසියාවෙන් එල්ල විය හැකි සයිබර් ප්‍රහාර ඇතුළු තාක්ෂණික තර්ජන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය අවධානය යොමු කර තිබේ.

බ්‍රිතාන්‍යයේ වැඩ සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ (DWP) පද්ධති රුසියාවෙන් එල්ල විය හැකි සයිබර් ප්‍රහාර හෝ වෙනත් ආකාරයේ hybrid warfare ක්‍රියාකාරකම්වල ඉලක්කයක් විය හැකිද යන්න පිළිබඳව එරට පාර්ලිමේන්තු කමිටුවකදී අවධානය යොමු වී ඇත.

ඒ සම්බන්ධයෙන් නොවැම්බර් 4 වැනිදා පැවැති වැඩ සහ විශ්‍රාම වැටුප් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටු රැස්වීමේදී කම්කරු පක්ෂ මන්ත්‍රී Patrick Hurley එම දෙපාර්තමේන්තුවේ පද්ධති සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබේ.

ඊට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Sarah Healey සඳහන් කර ඇත්තේ, විශාල පෞද්ගලික තොරතුරු ප්‍රමාණයක් සහ මුදල් ගනුදෙනු රැසක් එම පද්ධති හරහා සිදුවන බැවින් ඒවායේ ආරක්ෂාව ඉතා වැදගත් බවයි.

සයිබර් ආරක්ෂාව සහ පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව තමන්ට නිරන්තර අවධානය යොමු කිරීමට සිදුවන ප්‍රධාන කරුණක් බවද ඇය පවසා තිබේ.

එමෙන්ම, අදාළ දෙපාර්තමේන්තුව තුළ තවමත් ඉතා පැරණි පරිගණක පද්ධති භාවිත වන බවද Sarah Healey එම රැස්වීමේදී අනාවරණය කර ඇත.