October 8, 2026

දේශද්‍රෝහී හෝ ආගමික අපහාස චෝදනා මත ශ්‍රී ලාංකික තරුණයකුට සෞදි අරාබියේදී පනවා ඇති මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා සිටියි.

‘ඊර්ෂ්‍යාව හෝ කෝපය මුල්කර ගනිමින්’ ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින්කි 24 හැවිරිදි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයාට එරෙහිව මෙම තීන්දුව ලබා දී ඇත.

2026 ජූලි 1 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ ඔහුට ජූලි 27 වැනිදා අල් අහ්සා අපරාධ අධිකරණය විසින් වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක (ඇමෙරිකානු ඩොලර් 800,000) දඩයක් නියම කළේය.

කෙසේවෙතත්, සැප්තැම්බර් 17 වනදා අභියාචනා අධිකරණය විසින් එම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි.

තමා කෝපයෙන් අදාළ සටහන තැබූ බවත්, පසුව එය ඉවත් කර සමාව අයැද සිටි බවත් අනෝජන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් මොහොතේ සිට ප්‍රථම නඩු තීන්දුව දක්වාම ඔහුට නීතිඥ සහාය අහිමි කර තිබූ බවට ද චෝදනා එල්ල වේ.

මෙම හිංසාකාරී තීරණය ආවේගශීලී එකක් බවත්, භාෂණයේ නිදහස භාවිත කිරීම වෙනුවෙන් කිසිවෙකුට මරණ දඬුවම පැනවීම මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඇම්නෙස්ටි සංවිධානයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ හෙබා මොරයෙෆ් සඳහන් කරයි.

එමෙන්ම, සැකකරු වහාම නිදහස් කරන ලෙසත් සෞදි අරාබිය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට පියවර ගත යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.

2026 ඔක්තෝබර් 5 වැනිදා වන විට සෞදි අරාබිය තුළ පුද්ගලයන් 175 දෙනකුට වැඩි පිරිසක් මරණ දඬුවමට ලක් කර ඇති අතර, ඉන් බහුතරයක් විදේශිකයන් බව ද ඇම්නෙස්ටි වාර්තාවල දැක්වේ.