November 5, 2023

රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කළ කමිටුව විසින් මාස 6ක් ඇතුළත තම මූලික වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙන ලෙස නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක සමාලෝචන කමිටුව රැස්වූ අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කර තිබුණේ, රටේ ගොඩබිම සහ සාගරයේ ආරක්ෂාව සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට ලබාදුන් උපදෙස් අනුව එය හැකි ඉක්මනින් ලබාදිය යුතු බවයි.

රටේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ වගකීම පවරමින්, ඇමැති මණ්ඩල අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කරන ලදී.

මෙම කමිටුව විශ්‍රාමික හමුදා ප්‍රධානීන් තිදෙනකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ උපදේශකවරුන් ඇතුළු සාමාජිකයන් හයදෙනකුගෙන් සමන්විත වේ.

ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කර ඇත්තේ රටේ ජාතික ආරක්‍ෂක උපාය මාර්ග පිළිබඳ පුළුල් සමාලෝචනයක අවශ්‍යතාවයි.

මෙම සමාලෝචනයට නැගී එන ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාසවල බලපෑම් ඇතුළු පුළුල් පරාසයක සාධක ඇතුළත් වේ.

මෙම සමාලෝචනයට පහසුකම් සැලසීම සඳහා විශේෂඥ කණ්ඩායමකින් සමන්විත කමිටුව අගෝස්තු මාසයේදී පත්කරන ලදී.

කණ්ඩායමේ වගකීම වන්නේ ජාතියේ ආරක්ෂක භූ තලය තක්සේරු කිරීම සහ ජාතික ආරක්ෂක මණ්ඩලය සඳහා නවීන ආරක්ෂක ප්‍රතිපත්ති යෝජනා කිරීමයි.

රටේ ආරක්‍ෂාව, සාගර ආරක්‍ෂාව සහ බුද්ධි අංශ සංවර්ධනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ 2030 ඉලක්ක කර ගනිමින් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමද ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවට භාරදී ඇත.

එම කමිටුවේ පළමු රැස්වීමට එක්වෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක උපදෙස් දුන්නේ, ජනාධිපතිවරයා විසින් පවරන ලද යුතුකම් ඉටුකළ යුතු ආකාරය පිළිබඳ වාර්තාව මාස හයක් ඇතුළත ලබාදෙන ලෙසයි.