August 12, 2026

පාරිභෝගිකයන්ගේ පූර්ව අනුමැතියකින් තොරව සිදුකරනු ලබන සියලුම වෙළඳ ප්‍රචාරණ දුරකථන ඇමතුම් (commercial telemarketing calls) සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබේ.

2026 අගෝස්තු 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වූ මෙම නව නීතිරීති මගින්, මින්පසු ඕනෑම වෙළඳ ප්‍රචාරණ ඇමතුමක් ලබා ගැනීමට පෙර අදාළ සමාගම් විසින් පාරිභෝගිකයාගේ පූර්ව එකඟතාව ලබා ගැනීම අනිවාර්ය කර ඇත. මීට පෙර පැවති ක්‍රමය යටතේ පාරිභෝගිකයන්ට මෙවැනි ඇමතුම් එපා නම් ඒ පිළිබඳව දැනුම් දී ඉවත් වීමට සිදුවූ අතර, නව ක්‍රමය මගින් එම පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ.

නව රාමුව යටතේ, පාරිභෝගිකයෙකුට ඇමතුමක් ලබාදීමට පෙර ඔහු හෝ ඇය ඊට කැමැත්ත පළකර ඇති බව තහවුරු කිරීමේ වගකීම අදාළ සමාගම සතුව පවතී. කෙසේවෙතත්, පාරිභෝගිකයෙකු සහ ආයතනයක් අතර දැනට පවතින සක්‍රීය ගිවිසුමකට අදාළව සිදුකරන ඇමතුම් වැනි සීමිත අවස්ථා කිහිපයක් සඳහා පමණක් මෙයින් නිදහස හිමිවේ.

අනවශ්‍ය වෙළඳ ඇමතුම් සහ දුරකථන මාර්ගයෙන් සිදුවන මූල්‍ය වංචා අවම කරමින් පාරිභෝගික ආරක්ෂාව ඉහළ නැංවීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.

මෙම නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයන් සඳහා යුරෝ 75,000 ක් දක්වා සහ සමාගම් සඳහා යුරෝ 375,000 ක් දක්වා වූ ඉහළ දඩ මුදල් පැනවීමට ද ප්‍රතිපාදන සලසා ඇත.

අනවසර ඇමතුම් පිළිබඳව දිගින් දිගටම ලැබුණු පැමිණිලි සලකා බලමින් ප්‍රංශය ගත් මෙම පියවර, වෙළඳ ඇමතුම් සම්බන්ධයෙන් ලොව දැඩි නීති ක්‍රියාත්මක කරන රටවල් අතරට එම රට එක් කිරීමට සමත්ව ඇත.