June 5, 2023

ආණ්ඩුවට එක්වන ලෙස සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයා යළි ඉල්ලීමක් කර ඇතැයි එම පස්කාහයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

එහෙත් එවැනි ඉල්ලීමට සවන්දීමට ප්‍රථම මහ මැතිවරණයක් පවත්වන ලෙස තම පක්ෂය ජනාධිපතිවරයාට පැවසූ බව ජාතික සංවිධායකවරයා සඳහන් කරයි.

“ජනාධිපතිතුමාට අපි කියලා තියෙනවා ජනතාවගේ මතය දැනගන්න මුලින්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා. ජනතා වරම අනුව ඔහුට සහයදීම ගැන සලකා බලන බව අපි ඔහුට දන්වා තිබෙනවා” යැයි ජාතික සංවිධායකවරයා ජනමාධ්‍ය හමුවකදී පැවසීය.

“ජනාධිපතිතුමා අපිට කිව්වා එතුමා එක්ක සාමූහිකව වැඩ කරන්න කියලා, නමුත් ප්‍රධානම ප්‍රශ්නය තමයි ඔහු වැරදි පුද්ගලයන් සමඟ සන්ධානගත වීම. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඔවුන් සමග සන්ධානගත වෙන්න අපිට බැහැ. ජනාධිපතිවරයා මෑතක දී නීති සමුළුවේදී කළ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ. ජනතාවට මැතිවරණ එපා වී ඇති බවත් ඉදිරි මැතිවරණවලදී කිසිදු පක්ෂයකට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් හිමි නොවන බවත් ඔහු පවසා තිබෙනවා. රටේ මැතිවරණ සිතියම තාවකාලිකව හකුලන්නට උත්සාහ කරන බවත්, නුදුරු අනාගතයේ මැතිවරණයක් නොපවත්වන බවත් ජනාධිපතිවරයා හඟවන්නට උත්සාහ කරන බව අපට පෙනෙන්නට තිබෙනවා. ජනාධිපතිවරයාට කළ හැකි නිවැරැදි දෙය නම් මැතිවරණය තාවකාලිකව කල් දැමීමට ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ලබාගැනීමයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පවත්වන ලෙසයි.”