August 5, 2026

පරිසර සංරක්ෂණය, තිරසාරභාවය සහ අනන්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින්, ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය කාබන් විමෝචන (Zero Emission) පරිසර සංචාරක ගමනාන්තය බවට පත්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් වූ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඩෙල්ෆ්ට් දූපතේදී පැවැත්විණි.

ලන්දේසි යුගයේ නටබුන්, පුරාවිද්‍යාත්මක ස්ථාන සහ සුප්‍රකට කැලෑ අශ්වයන්ගෙන් සමන්විත ඩෙල්ෆ්ට් දූපත සතු සංචාරක ආකර්ෂණය මෙතෙක් රටේ සංචාරක කර්මාන්තයට උපරිමයෙන් දායක කරගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සැපයුම, මාර්ග පද්ධතිය, ප්‍රවාහන හා ප්‍රවේශවීමේ පහසුකම් වැනි ප්‍රමුඛ යටිතල පහසුකම් නැංවීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

පරිසර හිතකාමී සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් භාවිත කරමින් මෙය ආදර්ශවත් පරිසර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

ප්‍රදේශවාසීන්ට සංචාරක කර්මාන්තයෙන් ඍජු ප්‍රතිලාභ ලැබෙන පරිදි ඔවුන්ගේ සංග්‍රහශීලී කුසලතා සහ දැනුම වර්ධනය කිරීමට මෙන්ම ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමරන් කරුණානාදන්, ශ්‍රී භවානන්දරාජා ෂන්මුගනාදන්, රාජීවන් ජෙයචන්ද්‍රමූර්ති යන පිරිස ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතිය මඟින් ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින් ඩෙල්ෆ්ට් දූපත ලෝක මට්ටමේ තිරසාර සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට අපේක්ෂිතය.