October 8, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇමරිකා එක්සත් ජනපදය මගින් පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන 19 ක වටිනාකමින් යුත් නවතම සමුද්‍ර මුර සංචාර ගුවන් යානා එළඹෙන බ්‍රහස්පතින්දා භාවිතය ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

Beechcraft King Air 360ER වර්ගයේ ගුවන් යානය පසුගිය මාසයේදී මෙරටට රැගෙනවිත් ඇති අතර, එය එළඹෙන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියට ඇතුළත් කරන බව ගුවන් හමුදාව පවසයි.

මෙම ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීමට ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීම සඳහා ඇමෙරිකාවේ විශේෂඥයන් පිරිසක් මෙරටට පැමිණ සිටින බව ද වාර්තා වේ.

සමුද්‍ර මුර සංචාර සහ සෝදිසි කිරීම් සහ ගලවාගැනීම් සඳහා නිපදවා එවැනිම ගුවන් යානයක් වන Beechcraft King Air 350 ඉදිරි මාසවලදී ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

Beechcraft King Air 360ER වර්ගයේ ගුවන් යානය, තාප රූප කැමරා සහ සමුද්‍ර නිරීක්ෂණ රේඩාර් වලින් සමන්විත වන අතර, අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඊට අරමුදල් සපයා ඇත.

තාක්ෂණයෙන් දියුණු මෙම ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය සහ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ය.

එය අමෙරිකානු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරන අතරම රටේ සමුද්‍ර නිරීක්ෂණ මෙහෙයුම් ද සැළකිව යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.

ඩොලර් මිලියන 19 ක් වන අමෙරිකානු රජයේ ප්‍රදානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිදු වියදමකින් තොරව සපයනු ලබන ගුවන් යානා සහ ආධාරක සේවා ඇතුළත් වේ.

Beechcraft King Air 360ER වර්ගයේ ගුවන් යානා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදීමට සහ සමුද්‍රීය තර්ජනවලට මුහුණදීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත වේ.

42.31%
17.27%
32.76%